Friday, September 30, 2016


<Burj Khalifa>  <Dubai Mall>  (බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ල)


Dubai හි පිහිටි Burj Khalifa ගොඩනැගිල්ල (බර්ජ් ඛලීෆා) දැනට ලොව ඉදිවී ඇති උසම ගොඩනැගිල්ල බව ඔබ බොහෝ දුරට දන්නවා ඇතැයි සිතමි. එයටම යාබද වූ Dubai Mall (ඩුබායි මෝල්) සංකීර්ණය, ලොව විශාලතම සාප්පු සංකීර්ණය ලෙසද ලොව ප්‍රසිද්ධ වී ඇත. මේ Burj Khalifa ගොඩනැගිල්ල වඩාත් සුන්දර කරන ස්ථානයක් ගැන තොරතුරු මා දැන් ඉදිරිපත් කරන්නම්. ඒ වෙන කිසිවක් නොව, Dubai Downtown ( ඩුබායි ඩවුන්ටවුන්) ලෙස ප්‍රසිද්ධ ප්‍රදේශයේ මද්‍යයෙහි, Burj Khalifa ගොඩනැගිල්ලට යාබදව ඉදි කොට ඇති Dubai Fountain (ඩුබායි ෆවුන්ටන්) ලෙස හැදින්වෙන විශාල ජල මල් හෙවත් වතුර මල් සංකීර්ණයයි. ජලමල් හෙවත් වතුර මල් සංකීර්ණයක් යනු මෙතරම් වැදගත් තැනක් වන්නේ කෙසේද යන ප්‍රශ්නය, නිතැතින්ම ඔබේ සිතට නැගෙනවාට කිසිදු සැකයක් නැත.

ඩුබායි ෆවුන්ටන් යනු, සංගීතයට අනුව රිද්මයානුකුලව රඟදෙන පරිදි සකස් කල, (choreographed) ලොව විශාලතම ජල මල් සංකීර්ණයයි. ලොව තවත් බොහෝ රටවල මෙවන් ජල මල් සංකීර්ණ සකස් කර තිබුනද, මිනිසා විසින් සකස් කල (manmade), අක්කර තිහක් පුරා පැතිරුණු සුවිශාල විලක සකස් කෙරුණු, මෙවන් සුවිශාල ජලමල් සංකීර්ණයක් ලොව කොතැනක වත් දැකිය නොහැක.ඒ මෙය ලොව විශාලතම ජල මල් සංකීර්ණය වන හෙයිනි. වර්ණ 25 කින් සමන්විත ප්‍රොජෙක්ටර්ස් හා, 6600 වූ අති විශාල විදුලි බුබුළු සංඛ්‍යාවකින් මේ ජලමල් සංකීර්ණය ආලෝක ගන්වා තිබීමෙන්ම මෙහි සුවිශාලත්වය කොතෙක්ද යන්න ඔබට වටහා ගත හැකි වනු ඇත.මීටර් 275 ක දිගින් යුතුව ඉදිකර ඇති මේ ජලමල් තුලින්, මීටර් 150 කට (අඩි 500) ආසන්න උසකට මෙහි ජලය අහසට විදීම සිදුකල හැකි පරිදි සකසා ඇත.

දිනපතාම සවස් වරුවේදී, විදුලි ආලෝකයෙන් අලංකෘතව, ප්‍රසිද්ධ බටහිර හා අරාබි සංගීතයට අනුව රඟදෙන මේ ජල මල් දෙස ඇසි පිය නොහෙලා බලා සිටිය හැකි යයි පැවසුවහොත් එය බොරුවක් නොවේ. මේ සුප්‍රසිද්ධ ජල මල් සංකීර්ණය ඉදි කිරීම සඳහා එක්සත් අරාබි එමීර් ඩිරාම් මිලියන 800 හෙවත් ඇ.එ.ජ. ඩොලර් මිලියන 218 පමණ වැයවී ඇතැයි ගණන් බලා ඇත. 2009 වසරේ පෙබරවාරි මස වනවිට ඉදිකිරීම් නිමවා, අත්හදා බැලීම් ආරම්භ කල මෙම ජල මල් සංකීර්ණය, එම වසරේම මැයි මස 8 වන දින උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.

විවිධ රටා හා හැඩතල මවමින් රඟන මෙම ජලමල් වලින් ඕනෑම මොහොතක ජලය ගැලුම් 22,000 හෙවත් ලීටර් 83,000 අහසට විදීමේ හැකියාව ඇත. එසේම අහස උසට විහිදෙන මෙම ජල ධාරා වලට එල්ල කෙරෙන මෙම විදුලි ආලෝකය, සැතපුම් 20 ක පමණ දුරක සිට වුවද දර්ශනය වන තරම් ප්‍රබල බව කියවේ. ජල රෝබෝවරුන්ගෙන්ද(water robots), වතුර විදිනයන්, ප්‍රබල හා අති ප්‍රබල විදිනයන් (shooters, super shooters and extreme shooters) යන තෙවදෑරුම් විදිනයන්ගෙන් සමන්විත මේ ජලමල් සංකීර්ණය ක්‍රියාත්මක වීමේදී මින් පෙර සඳහන් කල පරිදි අඩි 500 පමණ උසකට ජලය විදින ආකාරයත්, සංගීත රිද්මයට රඟදෙන ආකාරයත් ඉතා දැකුම්කලුය. මෙම ජලමල් සංකීර්ණය පියවි ඇසින් දැකිය හැකිනම් එය ඔබට කිසිදා අමතක නොවන අත්දැකීමක් ලබා දෙනු නොඅනුමානය. දිනපතාම සවස 6 සිට රාත්‍රී 10 දක්වාත්, සති අන්තයේ (බ්‍රහ. සිකු. හා සෙන. දිනවල ) රාත්‍රී 11 දක්වාත්, සෑම පැය භාගයකට වරක් විනාඩි 3-5 අතර කාලයක් මෙම ජල මල් සංකීර්ණය ක්‍රියාත්මක වේ.

ඩුබායි හි සංචාරය කරන අය කිසිදා නැරඹීමට අමතක නොකරන මෙම ජල මල් සංකීර්ණයේ වීඩියෝවක් මේ සමග ඇත. දෑසින් දකින සුන්දරත්වය තරම් නොවුවද, යම් පමණකට තරම් හෝ සුන්දරත්වයක් මේ මගින් ලබා ගත හැකි වෙතැයි සිතමි. 

Thursday, September 29, 2016

<මේ බස් නැවතුම ....>    <Airconditioned Bus Shelters>






"මේ මොකක්ද අප්පා මේ......? බස් හෝල්ට් එකක්නේ. මොකක්ද බස් හෝල්ට් එකක තියෙන වැදගත්කම....?  මේ චායාරුප දුටු සැනින් මේ පැන ඔබේ සිහියට නොනැගුනානම් පුදුමයකි. සත්‍යයකි. බස් හෝල්ට් එකක තියෙන වැදගත් කම කුමක්ද...?

මේ සටහන අරඹන විටම මගේ මතකයට නැගුනේ පුන්සිරි සොයිසා ශුරීන්ගේ "මේ බස් නැවතුම ...." ගීතයයි. පෙමින් වෙලී සිටි පෙම්වතුන් යුවලක් පෙර කාලයේ සෑම දිනකම බස් නැවතුම් පලක හමුවී පෙම්බස් තෙපලූ බවත්, අද ඔවුන් වෙන්ව ගොස් ඇතත්, ඒ බවක් නොදන්නාක් මෙන් ඒ බස් නැවතුම එලෙසම පවතින බවත් එහි මනා පද වැලකින් විග්‍රහ කර ඇත.

මම මේ කියන්නට යන්නේද බස් නැවතුමක් ගැනයි. මෙහි ඇති විශේෂත්වය කුමක්ද...? 2008 වසරේදී ඩුබායිහිදී ලොව පළමු වරට වායු සමීකරණය කරන ලද බස් නැවතුම්පළවල් ඉදි කලේ අප සියල්ලන්ම පුදුමයට පත් කරවමිනි. (මෙය මා දන්නා තරමින් නිවැරදිය. එසේ නොවේනම් ඒ පිලිබඳ සමාව ඉල්ලන අතර ඔබගේ අදහස් දක්වන්නට ඉඩ ඇත. පසු කාලයේදී අබුඩාබි වලද මෙවැනි බස් නැවතුම් ඉදි කර ඇත.) ගොඩනැගීම, පවත්වාගෙන යාම සහ පැවරීම යන පදනම මත (BOT) රයිට් ඈන්ගල් (Right Angle) නමැති පෞද්ගලික සමාගමක් මගින් මෙම බස් නැවතුම් පළවල් ඉදිකරනු ලැබුවා. මුල් කාලයේ මෙවැනි වායුසමීකරණය කරන ලද බස් නැවතුම් පළවල් ඉදි කරන බවට ප්‍රචාරය වන විට එය බොහෝ දෙනෙකුට පුදුමයක් වුනා. නමුත් කෙටි කාලයක් තුල ඩුබායි වල මෙවැනි බස් නැවතුම් 898 ඉදි කරනු ලැබුවා. කෙසේ වුවද 2009 වසරේ ලොව පුරා බලපෑ මුල්‍ය අර්බුධය ඩුබායි වලටද බලපෑ හෙයින්, මේවා ඉදිකිරීමේදී සැලසුම් කල සමහර ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වුනා. එනිසා මෙයින් 190 පමණ අදටද ක්‍රියාත්මක තත්වයේ නොපවතී. විශේෂයෙන් මේවා ඉදිකිරීම් ඇරඹු සමාගම බලාපොරොත්තු වුනේ එහි පිටත සිදුකරන දැන්වීම් ප්‍රචාරය මගින් මුදල් උපයා ගැනීමටයි. එහෙත් එකවරම මතුව ආ මුල්‍ය අර්බුධය නිසා එය ඉටුවුණේ අඩුවෙන්.

මේ බස් නැවතුම් ඉදි කිරීම කිසියම් තාක්ෂණික දෝෂ කිහිපයක් නිසාත් ප්‍රමාද වුනා. නගරයෙන් පිටත සමහර තැන්වල ඒ සඳහා අවශ්‍ය විදුලි බලය ලබා ගැනීමේ හැකියාවක් නොපැවතීම නිසාද මෙය කල නොහැකි වුනා. එසේම මේ ව්‍යාපෘතියේ තවත් අඩුපාඩු නැතිවාම නොවෙයි. මුල් කාලයේ මෙම නැවතුම් පළවල්, මාස්පතා සම්පුර්ණයෙන් ජලයෙන් සෝදා පවිත්‍ර කෙරුනා. එසේම වා සැකසුම් යන්ත්‍ර ඉතා හොඳින් ක්‍රියාත්මක වුනා. එහෙත් අද සමහර තැනෙක අඩුපාඩු දැකිය හැකියි. කෙසේ වුවත් වසරේ මාස ගණනාවක් සෙල්සියස් අංශක 40 ඉක්මවූ අධික රස්නයෙන් යුතු පරිසරයක් සහිත ඩුබායිහි මේ නිර්මාණය, බොහෝ දුරකට ජනතාවගේ වෙහෙස නිවීමට උපකාරී වූවායයි කිවහොත් වඩා නිවැරදියි. මිට අමතරව ප්‍රධාන බස් නැවතුම් පවතින නගරයන්හි වායුසමනය කල විශේෂ ස්ථානද ඉදිකර තිබෙන බව දැන්විය යුතුයි. එවැනි තැන්වල මගී ජනතාවට සිය වෙහෙස නිවා ගත හැකියි.

ඒ වගේම මේ තැන්වල නොකළ යුතු කටයුතු කිහිපයක්ද තිබෙනවා. මෙම බස් නැවතුම් පලවල නිදා ගැනීම සපුරා තහනම්. එසේම ආහාර පාන ගැනීමද තහනම්. චුවින්ගම්, බුලත් විටද සැපීම කල නොහැකියි. එසේ අපවිත්‍ර කිරීමටද ඉඩක් නැහැ. මෑතක සිට GPS තාක්ෂනය හරහා අදාළ බසය පැමිණෙන මොහොත නිවැරදිව දර්ශනයක් මත සටහන් වෙනවා. ග්‍රීශ්මයේදී මෙන්ම ශීත කාලයේදීද මේ ආවරණය මගීන්ට වඩාත් සුවපහසුවක් දනවන බව අමුතුවෙන් කිවයුතු නැහැ. කෙසේ වුවත් තවත් මෙවන් වූ බස් නැවතුම් පළවල් 1200 ක් ඩුබායිහි ගොඩනැගීමට සැලසුම් සකස් කොට ඇති බව මා දුටුවා. එහෙත් ඒවා කවදා නිම වේදැයි මා දන්නේ නැහැ. මා මේ සමග දක්වා ඇති චායාරුප වල පළමු වැන්නෙහි එසේ බස් නැවතුමක වෙළඳ දැන්වීමක් ප්‍රචාරය කර ඇති අයුරු දැකිය හැකියි. එසේම තවත් චායාරුපයක ඒ අසලම පිහිටුවා ඇති විදුලි ආලෝකය සහිත ප්‍රචාරක පුවරුවක්ද දැක්වෙනවා. අවසානයට දැක්වෙන රතු පැහැති යන්ත්‍රය, අලුත් පෙරගෙවුම් (prepaid) බස් කාඩ්පත් ලබා ගැනීමටත්, කාඩ්පත් වලට මුදල් තැන්පත් කිරීමටත් හැකි යන්ත්‍රයක්. (ලංකාවේ සිටින අයගේ දැන ගැනීම සඳහා.)

කොහොම වුනත් මෙවැනි සුවපහසු බස් නැවතුම් පලක් ලංකාවේ තිබුනානම් පුන්සිරි සොයිසා ශුරින් ගයන විරහ ගීතය වෙනුවට, ආදරය ජයගත් යුවලකගේ ගීතයක් ඇසෙන්නට ඉඩ තිබුණු බවයි මගේ හැඟීම. මන්ද දහදිය පෙරාගෙන, රළු බිත්තියේ ඇඟිල්ලෙන් කුරුටු අඳිමින් පෙම් කරනවා වෙනුවට සුව පහසුවට ඉඳගෙන පෙම් කළා නම් ඔවුන් දෙපල වෙන් නොවීමටත් ඉඩ තිබුනා. ඒ වගේම අපේ පාසැල් කාලයේ හොර රහසේ පෙම් කරන්නට මෙවැනි තැනක් තිබුනානම් කියා ඔබට සිතුනානම්, මා ඒ ගැනත් පුදුම වෙන්නේ නැහැ.

Tuesday, September 27, 2016


<ජුමේරා ලේක් ටවර්ස්>       <Jumeirah Lake Towers>

ජුමේරා ලේක් ටවර්ස් හෙවත් JLT යනු ඩුබායිහි පිහිටි, නිදහස් ආර්ථික කටයුතු සඳහා (Free zone) වෙන්කළ ප්‍රදේශයකි. මෙවැනි වෙළඳ කලාප ගණනාවක් ඩුබායිහි පිහිටුවා ඇති අතර, ඒ එකිනෙක විවිධ කර්මාන්ත හා සේවා, ව්‍යාපාර සඳහා වෙන් කර ඇත. මේ JLT වැදගත් වන්නේ, වටිනා ලෝහ හා ඛනිජ වර්ග ආශ්‍රිත ව්‍යාපාර මෙන්ම වෙනත් වටිනා වෙළඳ භාණ්ඩ සඳහා වෙන්කරන ලද ප්‍රදේශයක් වීම නිසයි. මේ නිසා මෙය හැඳින්වෙන්නේ DMCC free zone (Dubai Multi Commodities Centre) යනුවෙනි. රත්‍රන්, මැණික්, රිදී, දියමන්ති, ප්ලැටිනම් හා අනෙකුත් වටිනා ලෝහ වර්ග ආශ්‍රිත ව්‍යාපාර ගණනාවක් මේ JLT හි පිහිටුවා ඇත. කෙසේ වුවද මේ තුල පිහිටා ඇත්තේ ඊට සම්බන්ධ ව්‍යාපාර පමණක්ම නොවේ. වෙනත් අංශ හා සම්බන්ධ ව්‍යාපාර ගණනාවක්ද මේ තුල ක්‍රියාත්මක වේ. ඒ වෙනුවෙන් ඊට අදාලව ඉදිකළ කාර්යාල හා නිවාස සංකීර්ණ ගණනාවක් මෙහි පිහිටුවා ඇත.

අද වනවිට ලොවපුරා ඇති මෙවැනි ව්‍යාපාර 9000 කට වඩා මෙම DMCC හි ලියාපදිංචිවී ඇත. ලොව ප්‍රමුඛ පෙලේ වෙළඳ ආයතන ගණනාවක් මේ තුල සිය ව්‍යාපාර පවත්වාගෙන යනු දක්නට ලැබේ. American Express, Clarkson, Conoco Phillips, DAMAS, Debeers Diamdel, GIA India Laboratory, Glencore, Harley Davidson, Louis Dreyfus, LVMH, Rio Tinto Alcan වැනි ලොව ප්‍රමුඛ පෙලේ ව්‍යාපාර ආයතන ඒ අතර වේ. එසේම අද වනවිට ඩුබායි, රත්‍රන්, දියමන්ති හා තේ සඳහා ලොව ප්‍රමුඛතම අලෙවි මධ්‍යස්ථානයක් බවට පත්වී ඇතැයි සඳහන් කළහොත් ඔබ පුදුම වන්නටත් ඉඩ ඇත. මෙවැනි වෙළඳ භාණ්ඩ ගනුදෙනු සඳහා 2002 දී ඇරඹු මෙම වෙළඳ කලාපය, අද වන විට බොහෝ ව්‍යාපාර සඳහා මුලස්තානයක් බවට පත් වී ඇත.

මා පෙර සඳහන් කල පරිදි මෙම DMCC free zone යටතේ මෙම JLT ගොඩනැගිලි සංකීර්ණය ඉදිවී ඇත. මෙම ගොඩනැගිලි ඉදිවී ඇත්තේ මනා සැලසුමකට අනුවය. මෙහි මුලිකවම කෘතිමව බිහිකළ විල් නැතහොත් ජලාශ (lakes) හතරක් ඉදිකොට ඇත. එම විල් Lake Almas West, Lake Almas East, Lake Elucio සහ Lake Allure ලෙස නම් කොට ඇත. සෑම විලක්ම මීටර් තුනක පමණ ගැඹුරකින් යුක්තය. මේ සියලු ගොඩනැගිලි ඉදිකොට ඇත්තේ මේ ජලාශ ආශ්‍රිතව හෝ ඒවාට මුහුණලාය. එහිලා පොකුරු නැතහොත් සමුහයන් (Clusters) විසිහයක් යටතේ මේ ගොඩනැගිලි ඉදිකොට ඇත. සෑම පොකුරක් තුලම ගොඩනැගිලි තුන බැගින් ඉදිකර ඇති අතර එම සමුහ නැතහොත් ක්ලස්ටර්ස් A සිට Z (A-Z) ලෙස නම්කර ඇත. මෙහි ප්‍රධාන ගොඩනැගිල්ල වන්නේ අල් මාස් (Al Mas) ගොඩනැගිල්ලයි. තට්ටු නැතහොත් මහල් 66 කින් සමන්විත මෙම ගොඩනැගිල්ල තුල, මෙහි පරිපාලන කාර්යාලය මෙන්ම දියමන්ති ව්‍යාපාර ස්ථාන ගණනාවක් පිහිටුවා ඇත. මේ ගොඩනැගිලි සියල්ල අතරින් උසම හා වැදගත්ම ගොඩනැගිල්ල මේ අල් මාස් ගොඩනැගිල්ලයි. අල් මාස් නැතහොත් අරාබි බසින් "දියමන්තිය" ලෙස හැඳින්වෙන මෙම ගොඩනැගිල්ල ඉතාමත්ම සිත්ගන්නා ගොඩනැගිලි සැලසුම් ශිල්පයකට අනුව ඉදිකර ඇති අතර මෙහි පොළවෙන් යට කොටසෙහි (basement) දියමන්ති ගබඩා පිහිටා ඇත. මෙම ගොඩනැගිල්ලේ ඇති කාර්යාල හා නිවාස අයිතිකරුවන් සියල්ලම පාහේ ආභරන ව්‍යාපාරිකයින් හා නිෂ්පාදකයින් බවද සඳහන් කල යුතුය. මිට අමතරව Au හා Ag යනුවෙන් තවත් ගොඩනැගිලි දෙකක් ඉදි කොට ඇති අතර මේ දෙක තුල පිලිවෙලින් රත්‍රන් සහ රිදී ව්‍යාපාරික ආයතන පමණක් පිහිටුවා ඇත. වඩාත් සිත ඇදගන්නේ, මේ ගොඩනැගිලි දෙක රන්වන් සහ රිදී පැහැයෙන් දිස්වන පරිදි ඉදිකොට තිබීමෙනි.

සෑම සමුහයකම (clusters) ගොඩනැගිලි තුන බැගින් ඉදිකර ඇති බව මිට ප්‍රථම පැවසුවෙමි. එම සෑම ගොඩනැගිල්ලක්ම තට්ටු නැතහොත් මහල් 35-45 අතර වන පරිදි ඉදි කර ඇත. මින් ගොඩනැගිලි බොහොමයක් නිවාස පහසුකම් සහිත (residential) ඒවා වන අතර, සමහරක් කාර්යාල සඳහා පමණක් භාවිතා කරන (office towers) වේ. නිවාස පහසුකම් සහිත ගොඩනැගිලි වල ස්ටුඩියෝ වල සිට නිදන කාමර තුනක් දක්වා වූ නිවාස පිහිටුවා ඇති අතර, එම සෑම ගොඩනැගිල්ලකම පැය විසිහතරේ ආරක්ෂාව, අධිවේගී විදුලි සෝපාන, වායුසමණය, පිහිනුම් තටාක, ව්‍යායාම මධ්‍යස්ථාන, ජකුසි, අධිවේගී අන්තර්ජාල පහසුකම්, වාහන නැවතුම් පහසුකම් ඇතුළු නවීන පහසුකම් සියල්ලෙන්ම සමන්විත වේ. කැමති කෙනෙකුට 99 අවුරුදු බදු ක්‍රමය වටතේ මේ නිවාස මිලදී ගතහැකි අතර, අවශ්‍යනම් මිලදී ගත් පුද්ගලයෙකුගෙන් හෝ දේපල සමාගමකින් තාවකාලිකව බදු ගෙන පදිංචි විය හැක. කාර්යාල ගොඩනැගිලිද සියලු නවීන පහසුකම් වලින් සමන්විත අතර, මිලදී ගැනීම හෝ බදු ගැනීම කල හැක. ඩුබායි- අබුඩාබි අධිවේගී මාර්ගයට, මෙට්‍රෝ පද්ධතියට හා බස් මාර්ගයනට මුහුණලා පිහිටීම නිසා අද වනවිට මේ ප්‍රදේශයේ පදිංචියට ඇත්තේ දැඩි ඉල්ලුමකි. බොහෝ යුරෝපිය හා වෙනත් ජාතිකයින් අතර ප්‍රසිද්ධියක් උසුලන මෙම නිවාස සංකීර්ණ වල අනෙකුත් ජාතිකයින්ද නැතුවාම නොවේ. මේ JLT ආශ්‍රිතව පමණක් දැනටමත් බොජුන්හල් (restaurant) 200 කට අධික ප්‍රමාණයක් ඇරඹි ඇත. මිට අමතරව ඩේ කෙයා, රුපලාවන්‍ය මධ්‍යස්ථාන, සුපිරි වෙළඳසැල් ඇතුළු සියලු පහසුකම් මෙහි ඇත. ඇවිදින මංතීරු බොහොමයක් මේ විල් අසලින් වැටි ඇති අතර, සවස් වරුවේ හා රාත්‍රී කාලයේ විදුලි බුබුළු දැල්වූ විට ඉතා දැකුම්කලු, චිත්තාකර්ශනීය පරිසරයක් මේ අවට බිහිවේ.

මෙම නිවාස හා කාර්යාල සංකීර්ණ වලට අමතරව මින් ගොඩනැගිලි කිහිපයක අති සුඛෝපභෝගී තරු පන්තියේ හෝටල් කිහිපයක්ද පවත්වාගෙන යනු ලැබේ. සුපිරි ධනවතුන් උදෙසා ඉදිකළ මේවායෙහි, ලොව නන් දෙසින් ව්‍යාපාර සඳහා මෙන්ම, සංචාරය සඳහා පැමිණෙන බොහෝ පිරිස් නතර වී සිටිනු දැකිය හැක. එසේම මුදල් ඇති අයට එම ව්‍යාපෘති වල ආයෝජනය කිරීමටද හැකියාව ඇත. ඔබට අවැසි නම් මෙම නිදහස් වෙළඳ කලාපය තුල ව්‍යාපාරයක් ඇරඹීම හෝ දේපල මිලදී ගැනීමක් සිදුකල හැක. ඒ සඳහා උපදෙස් හා තොරතුරු ලබා ගත හැකි ආයතන රාශියක්ද මේ කලාපය තුල පිහිටා ඇත.

එහිදී ලබාගත් වීඩියෝවක් මේ සමග පලකරමි. ඉදිරියේදී ඩුබායිහි තවත් චිත්තාකර්ශනීය තැනක, තොරතුරු සමගින් හමුවන තෙක් සමුගන්නම්. ඔබ සැමට ජය හා සතුට...!

Monday, September 12, 2016

<Fujairah> (Part 4)    <ෆුජෙයිරා> (4 කොටස)


පෙරදින රාත්‍රියේ ඉතා සුව පහසුවට නිදා ගත් අප, පසුදා ඇහැරුනේ තවත් ගමනක් යාම සඳහාය. එහෙත් කාමරයේ ජනේලයෙන් ඉවත බැලූවිට දුටුවේ දුර ප්‍රදේශවල යම් පමණකට දුහුවිලි නැගී එන බවකි. තවමත් දේශගුණය සම්පුර්ණයෙන් වෙනස් වී නොතිබුණු හෙයින් මෙම කාලයේ, බොහෝ විට වැලි කුනාටු හෙවත් දුහුවිලි කුනාටු දැකිය හැක. එසැනින්ම අන්තර්ජාලයෙන් පරික්ෂා කල විට දැන ගත හැකි වුයේ, මෙරට තුල බොහෝ තැන්වල දුහුවිලි සහිත පරිසරයක් පවතින බවයි. එහෙයින්, අකමැත්තෙන් හෝ යෑමට බලාපොරොත්තු වූ සමහර ස්ථාන අතහැර දැමීමට අපට සිදු විය. එනිසා හෝටලය අවට, යාහැකි දුරක පවතින ස්ථාන නැරඹීමට අපි තීරණය කළෙමු. හෝටලයෙන්ම උදෑසන ආහාර ලබා ගත් අප, පිටත් වුයේ 'කල්බා' වෙතයි.

'කල්බා' යනු ෆුජෙරා වල පවතින තවත් කුඩා නගරයකි. මින් පෙර මා පැවසු පරිදි ෆුජෙරා වල, ඩුබායි වල මෙන් ඉතා විශාල ගොඩනැගිලි ඇත්තේ ඉතා අඩුවෙනි. හෝටලයේ සිට කල්බා බලා යන අතරේ නගරයේ තැනින් තැන තොරතුරු චායාරුපයට නගාගැනීමට මට හැකි විය. ඒ අතරින් දුටු විශේෂිත සටහන වුයේ, වටරවුමක නිර්මාණය කරතිබූ ගුරුලේත්තුවක නැතහොත් තේ පෝච්චියක හැඩය ගත අනුරුවයි. (ඔමානයේදීත් බොහෝ තැන්වල මෙවැනිම අනුරු දැකිය හැක.) කෙසේ වුවද අරාබි ජාතිකයින්ගේ සුවිශේෂ වූ සංකේතයක් ලෙස මෙම ගුරුලේත්තුව නැතහොත් තේ පෝච්චිය හඳුන්වා දිය හැක.

මග දිගේ ඉදිරයට ඇදී ගිය අපි මුලින්ම කල්බා විවෘත මුහුදු වෙරල (open beach) වෙත ගියෙමු. ඒ මුහුදු දියේ බැස ස්නානය කිරීමේ අරමුණෙනි. එහෙත් එම ස්ථානය නෑමට සුදුසු පරිදි සකස් කල එකක් නොවුයෙන්, අපගේ අදහස වෙනස් කර ගතිමු. ඉන් අනතුරුව එතනින් පිටත් වී ඉදිරියට ගිය අප, ෆුජෙරා මධ්‍යම වෙළඳ පල වෙත ගියෙමු. එහෙත් ඇත්තටම එය ඉතා කුඩා වෙළඳ පලක් විය. ඩුබායි හි මහා විශාල වෙළඳ පළවල් දැක ඇති අපට, එය කුඩා කඩ මන්ඩියක් පමණක් විය. එහෙත් සමහර එළවලු හා පලතුරු වර්ග ඩුබායි වලට සාපේක්ෂව මිලෙන් අඩු විය. එනිසාම එහිදී එළවලු හා පලතුරු මිලදී ගැනීමටද අපි අමතක නොකළෙමු. අපගේ ප්‍රියතම පළතුරක් වූ 'රඹුටන්', එහිදී අප මිලදී ගත්, අපට සතුට ගෙන දුන් විශේෂ කෑමක් විය.

ඉන් අනතුරුව අප කල්බාවල පිහිටි විශාලතම උද්‍යානය (park) වෙත පියනැගුවේ, එහිදී හෝ මුහුදේ නෑමට හැකිවෙනු ඇතැයි යන සිතුවිල්ලෙනි. මාර්ගය අයිනේම පිහිටා තිබු එම උද්‍යානය, අනෙක් පසින් සුන්දර මුහුදු තිරය වෙත සම්බන්ධ වී තිබුණි. එහි ඇතුළුවන දොරටුවේ සිට ඉතා අලංකාර ලෙස මල් වවා තිබුනු අතර, තනකොලද, අනෙකුත් ගහකොලද මනාව කප්පාදු කර අලංකාර කොට තිබුණි. කාන්තාර රටක් යයි කිව නොහැකි පරිද්දෙන් ඒ සියල්ල සකසා තිබුණු අතර, යායට දිවෙන නිල්වන් තණ නිල්ල දෙපයට ගෙන දුන්නේ අගනා සුවයකි. එසේම මල් පිපි තිබුණු ගස් වැල් විවිධ වර්ණයෙන් මුළු උද්‍යානයම හැඩ කොට තිබුණි. දහවල් කාලය වුවද, බොහෝ දෙනෙකු එහි රැස් වී සිටි අතර, බොහෝ දෙනෙකු එම ගස් වැල් වලට පිටුපා චායාරුප ගනු දක්නට ලැබුණි. එසේම මස් පිළිස්සීමේ කටයුතු (barbecue / BBQ) සඳහා වෙන් කොට තිබෙන ස්ථාන වල, දිවා ආහාරය සඳහා මස් සකසමින් සිටින පිරිස්ද දැකගත හැකිවිය. කෙසේ වුවද, මුහුදු වතුරේ ගිලී ස්නානය කිරීමේ අපේ අභිලාශය ගිලිහී ගියේ එම ස්ථානයේද එවැන්නකට ඉඩ නොතිබූ හෙයිනි. එනිසාම ටික වෙලාවක් එහි රැඳී සිට අප ආපසු හෝටලය වෙත යාමට සිතුවේ, එහි ගොස් නාන තටාකයට බැස හිතේ හැටියට නා ගැනීමේ අරමුණෙනි.

නැවත හෝටලයට පැමිණි අප දිවා ආහාරය ගෙන මඳ වෙලාවක් සුවසේ ගත කලේ, නාන තටාකයට පිය නැගීමට ප්‍රථමය. ඉන්පසු ඇඳුම් මාරු කරගෙන හෝටලයේ ඉහලම මහලේ පිහිටි පිහිනුම් තටාකය පිහිටි කොටසට ඇතුළු වීමු. එහි යාමට මත්තෙන් තමතමන් කැමති පරිදි උණුසුමෙන් හෝ වාෂ්පයෙන් (sauna or steam) සිරුර සතපවා ගැනීමටද අප අමතක නොකළෙමු. ඉන් අනතුරුව නාන තටාකය අද්දර වූ පුටු මතට වී මොහොතක් ගත කල අප නාන තටාකයට බැස්සේ හිතේ හැටියට නා ගැනීමේ අරමුණෙනි. මගේ මිතුරෙකුගේ සිඟිති පුතු ළමා නාන තටාකයේ සතුට විඳින අතර, අනෙක් අය විශාල තටාකයේ නාමින් හා කෙලි දෙලෙහි යෙදෙමින් සතුටු වීමු. පැය කිහිපයක් එහි ගතකල අපි ඉන් පිටවී කාමරයට පැමිණ උණුසුම් තේ / කෝපි වල රස වින්දේ, සතුට හා සුවය උපරිමයට ලබා ගනිමිනි.

සවස් වරුව ගෙවී රාත්‍රිය උදා වන විට, නැවතත් හෝටලයෙන් පිට වී නගරය වෙත ගියෙමු. ඒ නැවත වරක් අවශ්‍ය දේ මිලදී ගැනීම සඳහාය. එහිදීද ඇඳුම්, පැළඳුම්, සපත්තු, සෙරෙප්පු මෙන්ම තව බොහෝ දේ මිලදී ගැනීමට හැකි විය. ඒ යන අතර මගදීද නැවත වරක් අවසාන වරට නගරයේ සිරි නැරඹුවේ, හෙට දිනයේ අප මේ නගරයෙන් පිටවී යන හෙයිනි. එහිදීද නගරයේ එක කොනක පිහිටා තිබු විශාල සාප්පු සංකීර්ණයක් (shopping mall) වෙත ගිය අප, අපගේ මිලදී ගැනීම් නිමාවට පත් කළේය. මෙහිදී දැකිය හැකි වූ විශේෂ සිදුවීමක් වුයේ එහි කුඩා දරුවන් වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් සුදානම් කර තිබීමයි. එහිදී කුඩා දරුවන්ගේ සතුට වෙනුවෙන් මොනරෙකුද ප්‍රදර්ශනය සඳහා තබා තිබුණි. ඉන් පිටවී එන අතරේ නගරයේ වූ පිලිස්සු මස් (mixed grilled food) රාත්‍රී ආහාරය සඳහා ඇනවුම් කර, අපගේ හෝටලය වෙත ගෙනවිත් දෙන ලෙස ඉල්ලා සිටියෙමු. නිසි පරිදිම, කදිමට සකස් කල, ඉතා ප්‍රනීත රාත්‍රී ආහාරයක් ඊට විනාඩි තිහකට පමණ පසුව ඔවුන් අපගේ හෝටලයටම ගෙනවිත් දුන්නේය. කුඩා මධුවිතකින්ද සප්පායම් වී සිටි අපි, එය අවසානයේ ආහාර අනුභව කොට නින්දට ගියෙමු.




පසුදින උදෑසනින්ම නැගිට හොඳින් නාගෙන සුදානම් වුයේ හෝටලයෙන් පිටත් වීමටය. කෙසේ වුවද, පිටවීමේ කාලයට තවත් හෝරා කිහිපයක් තිබු බැවින් කාමරයට වී රුපවාහිනිය නරඹමින් කාලය ගත කළෙමු. උදෑසන ආහාරය හෝටලයෙන්ම ගත් අප, දහවල් 12ට පමණ, සියලු ලියකියවිලි හා ඇතුළුවීමේ පත් භාරදී හෝටලයෙන් පිටතට පැමිණියේය. හිරුගේ උණුසුමින් අවට පරිසරය මදින් මද උණුසුම් වෙමින් පැවතුනි. අප ෆුජේරා නගරය දෙස අවසන් වරටත් දෙනයන යොමා ඉන් පිටත් වුයේ, නැවතත් ඩුබායි බලා පැමිණීමේ අරමුණෙනි.
(කල්බා වල දුටු අලංකාර උද්‍යානයේ වීඩියෝ දර්ශනයක් මෙහි ඇතුලත් වේ. චායාරුප වෙනමම පලකරමි)

<Fujairah> (Part 3)    <ෆුජෙයිරා> (3 කොටස)


අප ෆුජේරා වෙත ලඟා වන විට ප.ව. 2 පසුවී තිබුණි. එනිසාමදෝ තරමක බඩගින්නකින් අප සියලු දෙනා පෙළෙන්නට විය. ඩුබායි වල නම් අඩියෙන් අඩියට රෙස්ටුරන්ට් හෝ කැෆටේරියා තිබුනද, ෆුජෙරා වල තත්වය ඊට හාත්පසින්ම වෙනස් විය. නගරය ආරම්භක සිමාවේ සිට කි.මීටරයක් පමණ ගියද අපට හොඳ තත්වයේ රෙස්ටුරන්ට් එකක් දැක ගත නොහැකි විය. එක් වරම මාර්ගය පසෙක වූ අවන්හලක් දුටු අප, දෙවරක් නොසිතාම ඊට ගොඩ වීමු. එය ඉරානියානු (Iran) රෙස්ටුරන්ට් එකකි. එසේ වුවද ඉන්දියානු ක්‍රමයට මෙන්ම, චීන හා අරාබි ක්‍රමයට සකසන ආහාර වට්ටෝරුද එහි තිබුණි. අපි ඉන්දියානු ක්‍රමයට සැකසු කුකුළු හා එළු මස් බිරියානි ඇනවුම් කළෙමු. මිලෙන් තරමක් වැඩි වුවද, ආහාර ඉතාම ප්‍රනීත විය. කුසගිනි මතුව සිටි අපට, නිසැකවම එය ඉතා රසවත් විය. ආහාර ගැනීමෙන් අනතුරුව අපට අවැසි වුයේ ඉක්මනින්ම හෝටලයට ගොස් මදක් විවේක ගැනීමටය. වායුසමනය සහිත සුවපහසු වාහනයක ගමන් කලද, කි.මී. සිය ගණනක් ගමන් කල විඩාව අප සැමට තිබුණි. අප ආහාර ගත් තැනට, හෝටලය පෙනෙන දුරින් විය. එනිසාම විනාඩි කිහිපයකින් අප එහි ලඟා වීමු.

එය ඉතා සුඛෝපභෝගී තරු හතරේ හෝටලයක් විය. දෙවන මහලේ පිහිටි රථවාහන අංගනයේ රථය නැවතූ අප, බඩු භාණ්ඩ එහිම තබා පළමුවෙන්ම පිළිගැනීමේ කවුන්ටරය වෙත පා නැගුවෙමු. ඉතා සුහද ලෙස අප පිළිගත් කාර්ය මණ්ඩලය අපගේ කාමර වෙන්කිරීම් පරික්ෂා කර බලන්නට විය. ඉතා අලංකාර ලෙස සැකසූ නවීන ක්‍රමයේ දිය ඇල්ලක්ද, මනා ලෙස අසුන්ගත කල ලොබියක්ද එහි විය. විදුලි ආලෝකය මෙන්ම අනෙකුත් සැරසිලිද සිත් ගන්නා සුළු විය. මහල් 22 කින් සමන්විත හෝටලයේ ඉහල මහලක් අප ඉල්ලා සිටියේ, මනා සුන්දරත්වයක් විඳීමේ අරමුණෙනි. අපගේ ඉල්ලීම ඉටු විය.

කාමර සඳහා ඇතුළුවීමේ පත් (access cards) ලබා ගත් අපි, අපගේ බඩු බාහිරාදිය රැගෙන සෝපානය හරහා කාමර වෙත පිය නැගුවෙමු. ඒවා ඉතා අලංකාර කාමර විය. තරු හතරේ හෝටලයකට ගැලපෙන අයුරින්ම, සියලු අංගෝපාංගයන්ගෙන් ඒවා සමන්විත විය. ලියන කඩදාසියේ සිට කුඩා ශීතකරණය දක්වා සියලු අවශ්‍යතා එහි සපුරා තිබුණි. එසේම නාන කාමරද ඉතා පිරිසිදු හා සියලු අංගයන්ගෙන් පරිපුර්ණ විය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තරු පන්තියේ හෝටලයක අවශ්‍යතා එහි සපුරා තිබුණි.

මඳ වේලාවක් කාමර වලට වී විවේක ගත් අප, නා ගැනීමෙන් අනතුරුව ඊළඟට සුදානම් වුයේ නගරයේ සිරි නැරඹීමට යාමටයි. ඊට අමතරව තවත් විශේෂ අවශ්‍යතාවක්ද විය. එනම්, රාත්‍රිය වඩා සතුටින් ගත කිරීම සඳහා 'මධුවිතක්' සොයා ගැනීමයි. ඩුබායිහි නම්, මත්පැන් මිලදී ගැනීම සඳහා බලපත්‍රයක් තිබිය යුතුය. රැකියාව සහ වැටුපට අනුව මෙන්ම, රැකියා ආයතනයෙන් ලබා දෙන නිර්දේශ මත පුද්ගලයෙකුට ලබා ගත හැකි මත්පැන් බෝතල ගණන සිමාවේ. සුළු රැකියාවල නිරත වන අයට මේ වරප්‍රසාදය නොලැබෙන අතර, ඔවුන් ඒවා සපයා ගන්නේ හොරෙන් ඒවා විකුණන පුද්ගලයන්ගෙනි. කෙසේ වුවද, මුස්ලිම් රටක් වශයෙන් මෙවැනි හෝ වරප්‍රසාදයක් ලබා දී තිබීම ගැන අප මෙම පාලකයිනට ස්තූතිවන්ත විය යුතුය. හෝටලයේ ක්ලබ් එකක් පැවතියද එහි ගියහොත් අපගේ නිදහස ඇහිරෙන බැවින් අපට අවශ්‍ය වුයේ, අපගේ කාමර වලම සිට 'මද පමණින් සප්පායම් වීමටය.' කෙසේ වුවද ෆුජේරා වලද මත්පැන් සඳහා කිසිදු සීමාවක් නොවිය. එහි මිලදී ගන්නා මත්පැන් සඳහා සීමාවක් හෝ බලපත්‍ර අවශ්‍යතාවයක් නොවිය. එහෙත් එම එමිරේටයෙන් පිටත ගෙනයාම කල නොහැක. මෙවැනිම තත්වයක් අජ්මාන්, රසල් කයිමා මෙන්ම උමල් කුවේන් වලදීද දැකිය හැක. විවිධ වර්ගයේ මත්පැන් වලින් සමන්විත අලෙවිහල් වල ඒවා අසුරා ඇති අයුරු ඉතා ආකර්ශනියය. බියර් කෑනයේ සිට විස්කි, බ්‍රැන්ඩි, වොඩ්කා, ටිකිලා, බකාඩි,රම්, ජින්, ශම්පේන්, වයින් ඇතුළු මෙකී නොකී විවිධ වර්ගයේ, විවිධ රටවල නිපදවන ලාභ මෙන්ම ඉතා මිල අධික බොහෝ මත්පැන් වර්ග එහි විකිනීමට ඇත. (කෙසේ වුවද එහි චායාරුප ගැනීම හෝ වීඩියෝ කිරීම තහනම් නිසා මෙහි දැක්වීමට ඉඩක් නොමැත.) අපි, අපට අවශ්‍ය දේ මිලදී ගෙන ඉන් පිටවිමු.

අනතුරුව අප ගියේ සාප්පු සවාරියේය. ඩුබායි වලට සාපේක්ෂව ඇඳුම් පැළඳුම් ඇතුළු බොහෝ දේ ඉතා අඩුවට මිලදී ගැනීමට මෙහිදී හැකි විය. සාප්පු වල බොහෝ විට පිරි සිටියේ අරාබි ජාතිකයින්ය. ඩුබායි වල මෙන් විවිධ ජාතිකයින් දැකීම තරමක් දුර්ලභ විය. ෆුජේරා, ඕමානයට ආසන්න එමිරෙටයක් නිසා, වැඩිපුරම දැකිය හැකි වුයේ, ඔමානයෙන් පැමිණ මෙහි පදිංචි වූ ඕමාන ජාතිකයින්ය. අපි, පසු දිනයේ යලිදු සාප්පු සවාරියේ යෙදෙන අරමුණින් අවශ්‍යම දේ පමණක් මිලදී ගෙන ඒ ප්‍රදේශයෙන් පිටත් වීමු. ඉන් අනතුරුව අප ගියේ විශාල සාප්පු සන්කිර්නයකටය. එහි වූ ආපන ශාලා අංශයෙන් (Food court) කටගැස්ම මෙන්ම, රාත්‍රී ආහාරය සඳහා වූ දේ මිලදී ගෙන යලිදු හෝටලය බලා පිටත් වීමු.

දහවලට සාපේක්ෂව, රාත්‍රී කාලයේ පාරවල් මඳක් කාර්යබහුල වී තිබුණි. තවද සිකුරාදා දිනය වූ නිසාම බොහෝ දෙනා මිලදී ගැනීම් සඳහා නගරයට පැමිණ සිටියහ. කඩසාප්පු වල ආලෝකයෙන් මාර්ගය ආලෝකමත් වී තිබු අතර, බොහෝ දෙනා ඒවාට ගොඩවී සිටින අයුරුද දැකගත හැකි විය. ෆුජෙරා වල ගුවන් තොටුපලක්ද පවතී. එහෙත් එය ජාත්‍යන්තර ගුවන් තොටුපලක් නොවේ. සවස් වරුවේ නගරයේ ගමන් කරන විටත්, හෝටලයේ අපේ කාමර වලටත් එහි ගුවන් යානා කිහිපයක් නවතා තිබෙනු දැකිය හැකි විය. එහෙත් අප එහි සිටි කාලය පුරාවටම යානයක් ගුවන් ගතවීමක් හෝ පැමිණීමක් දැකිය නොහැකි විය. මුහුදුට ආසන්න නිසා වරින් වර සිසිල් සුළඟක් ප්‍රදේශය හරහා හමා ගියේ ගතට සිසිලක් නංවමිනි. හෝටලයට පැමිණ එහි ජනේල විදුරු තුලින් පිටත බැලුවිට දුටු දර්ශනය ඉතා සිත් ගත්තේය. විදුලි ආලෝකයෙන් ආලෝකමත් වූ නගරය ඉහලක සිට බැලීමේදී ඉතා මනරම්ව දිස්විය. සිත්සේ සතුටු වූ අප රාත්‍රී ආහාරයෙන් පසු නින්දට ගියේ ඉතා සතුටු සිතිනි.

(ඉතිරි කොටස පසුවට......)



(Fujeirah නගරයේ හා මුහුදු තිරයේ කොටසක් මේ වීඩියෝවේ දැකිය හැක. එම හෝටලයේ හා නගරයේ චායාරුප කිහිපයක් වෙනම පලකරමි.)

<Fujairah> (Part 2)    <ෆුජෙයිරා> (2 කොටස)


අප ෆුජේරා බලා යාමට පිටත් වුයේ සිකුරාදා දිනකය. සිකුරාදා දිනය, එ. අ. එ. රාජ්‍යයේ නිවාඩු දිනයක් බැවින් දහවල් වරුවේ පාරවල් වල එතරම් දැඩි වාහන තදබදයක් නොපවතී. එහෙත් සවස් වරුවේ නම් දක්නට ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් තත්වයකි. කෙසේ වුවද අපට හෝටලයට ඇතුළු වීමට තිබුනේ දහවල් 2 පසුවී බැවින්, දහවල් 12.30 ට පමණ බර් ඩුබායි (Bur Dubai) හි අප වෙසෙන පෙදෙසින් පිටත් වීමු. තවමත් ග්‍රීෂ්ම ඍතුව ආරම්භයේ බැවින් දහවල් කාලයේ එතරම් දැඩි හිරු රශ්මියක් පවතින්නේ නැත. කෙසේ වුවද ෆුජෙරා බලා යන අතරමගදී වාහනයට අවශ්‍ය ඉන්ධනද ලබාගෙන, ඉන්ධන හලෙහිම වූ අවන් හලෙන් කෝපි පානය කර ගමන පිටත් වීමු.

අනෙක් එමිරේට මෙන්ම ෆුජේරාද පාලනය කරනුයේ ෂේක් වරයෙකු විසිනි. එක් එක් එමිරේට සඳහා වෙන වෙනම ෂේක් වරු සිටින අතර, ඔවුන් හත් දෙනාගෙන් සමන්විත වූ උත්තරීතර මණ්ඩලයක් (Federal Supreme Council) මගින් මුළු රටටම අදාළ තීරණ ගනු ලැබේ. ෆුජෙරාහි භුමි ප්‍රමාණය වර්ග කි.මී. 1,166 කි. එය එ.අ.එ. රාජ්‍යයේ පස්වන විශාලතම එමිරේටය වන අතර, මුළු රටෙහි භූමියෙන් 1.5% ක් පමණ වේ. වර්ෂ 2009 ජනගහණය 152,000 පමණ වූ අතර, ඊට වඩා අඩු ජනගහනයක් සිට ඇත්තේ උම් අල් කුවේන් වල පමණි. ඩුබායි, අබුඩාබි බටහිර වෙරල තිරයට ආසන්නව පිහිටි එමිරේට වේ. එසේම එහි භූමියෙන් වැඩි හරියක් කාන්තාර වේ. එහෙත් ෆුජේරා යනු සම්පුර්ණයෙන්ම පාහේ කඳුවලින් සමන්විත වූ එමිරේටයකි. එලෙස වැඩියෙන්ම කඳු වලින් සමන්විත එමිරේටය ෆුජේරා වන අතර, අනෙක් ප්‍රදේශ වලට සාපේක්ෂව වසරක් තුල වැඩිම වර්ශාපතනයක් ලැබෙන ප්‍රදේශයද වේ.

(මෙරටෙහි සිටින ශ්‍රී ලාංකිකයිනට නම් මෙම තොරතුරු එතරම් නොවැදගත් විය හැක. එහෙත් කිසිදු දිනක කාන්තාරයක් දෑසින් දැක නැති ශ්‍රී ලාංකිකයිනට මේ තොරතුරු වැදගත් වනු ඇතැයි විශ්වාස කරමි. මේ සටහන තබනුයේද ඔවුනගේ දැනගැනීම වෙනුවෙනි. මැද පෙරදිග රටකට පැමිණීමට පෙර මමද කාන්තාරයක් සියැසින් දැක තිබුනේ නැත. මා මුල් වරට කාන්තාරයක් දුටුවේ, සෞදි අරාබියේ සේවය සඳහා 2001 වසරේදී පිටත්ව යන අතරේදී කටාර් රාජ්‍යයට ගුවන් යානය ගොඩබාන අවස්තාවේදීය. මා හට ඒ මොහොතේ සිහි වුයේ පාසලේදී සමාජ අධ්‍යයනයට හා භුගෝලයට කාන්තාර භූ ලක්ෂණ ඉගෙන ගත් අයුරුය. ශේෂ කඳු, වැලි වැටි, කුරු ගස්, කටු පඳුරු, ක්ෂේම භුමි මාගේ දෙනෙතින් දුටු පළමු වතාව එය විය.)

කෝපි පානය කර ඉන්ධන හලෙන් පිටත් වූ අප ඩුබායි - ෆුජේරා අධිවේගී මග දිගේ ඉදිරියට ඇදුනේ මග දෙපස විසිතුරු නරඹමිනි. (මිට ප්‍රථම මා පල කල චායාරූප වලින් ඔබටද ඒවා දැක ගත හැක.) කෙසේ වුවද පැය එකහමාරකටත් ප්‍රථම අපට ෆුජෙරා වෙත ලඟා විය හැකි විය. ඩුබායි හි අවුරුදු කිහිපයක් වාසය කලද, නිවාඩුවක් සඳහා අප සැම ෆුජේරා වෙත පැමිණි පළමු වතාව එය විය. එසේම ඩුබායි හි උස් ගොඩනැගිලි, කලබලකාරී පරිසරය, මිනිසුන් බහුල මාවත් දැක තිබු අපට ෆුජේරා යම් වෙනසක් ගෙන දුනි. මෙහි ඩුබායි වල මෙන් දැඩි කාර්ය බහුල බවක් නොවිය. එසේම බොහෝ උස්වූ ගොඩනැගිලිද නොවීය. නගරයට ඇතුළු වන මායිමේ පිහිටා තිබු කොඩි කණුවෙහි වූ ධජය මද සුළඟට වැනුණේ, එහි පිවිසෙන අපට අත වනන්නාක් මෙනි. කෙසේ වුවද බොහෝ සංචාරකයින් මෙහි පැමිණෙන නිසාමදෝ, නගරය තුල සංචාරක හෝටල් බොහොමයක් දැක ගත හැකි විය. මහල් 15-20 ටත් වඩා උස තරු 4-5 මෙවැනි හෝටල් බොහොමයක් නගරයට ඇතුළු වන තැන සිට විසිරී පැවතුනි. මේ වන විට අප සැවොම සිටියේ කුසගින්න දැඩි වී පැවති මොහොතකය. දුටු පලමුම ආපන ශාලාව (restaurant) වෙත ගොස් බිරියානි හා අනෙකුත් ආහාර පාන ඇනවුම් කලේ ඒ කුසගින්න හැකි ඉක්මනින් නිවා ගැනීමේ අරමුණෙනි. (ඉතිරි කොටස පසුවට )



(බොහෝ දෙනෙකු දැක නැති කාන්තාරයක වීඩියෝවක් මේ සමග පළවේ.)

<Fujairah>  (Part 1)   <ෆුජෙයිරා> (1 කොටස)


(මේ මාගේ උපන් දිනය වෙනුවෙන්, අප ෆුජේරා වල කල සංචාරයක් පිලිබඳ ලියවුනු සටහනකි.)

මෙවර මාගේ උපන් දිනය වෙනුවෙන්, විනෝද වීම සඳහා අප ගියේ ෆුජේරා (Fujairah) වෙතයි. ෆුජේරා යනු එක්සත් අරාබි එමීර් රාජ්‍යය සෑදී ඇති එමිරේට හතෙන් එකකි. අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාජා (Sharjah), අජ්මාන් (Ajman), රසල් කයිමා (Ras Al Khaimah), උමල් කුවේන් (Umm Al Quwain)සහ ෆුජෙරා යනු එ.අ.එ. රාජ්‍යය සැදී ඇති එමිරේට හතයි. අබුඩාබි එහි අගනුවර මෙන්ම ප්‍රධාන නගරයයි. එහෙත් ආර්ථික මධ්‍යස්ථානයක් වශයෙන්ද, සංචාරක පාරාදීසයක් වශයෙන්ද, පහසුකම් හා අනෙකුත් සියලු සැප සම්පත් අතින්ද ඩුබායි, අනෙකුත් එමිරේට වලට වඩා බොහෝ ඉදිරියෙන් සිටිනවා. දිනපතාම ලොව පුරා රටවල්වලින් දහස් ගණන් ජනයා ඩුබායි වෙත පැමිණෙන්නේ මේ නිසාමයි. ඩුබායි යනු කාන්තාර රටක් වුවද, ලොව බොහෝ දියුණු යයි සම්මත රටවල පවා දක්නට නැති බොහෝ දේ, ඩුබායි වලදී දැකගත හැකියි. එනිසාම ඩුබායි බොහෝ කාර්ය බහුල තැනක් වී ඇති අතරම, පැය 24 පුරා අවදියෙන් පසුවන නගරයක් යයි පැවසුවහොත් එය වඩා නිවැරදියි.


කෙසේ වුවද මෙවර උපන් දිනය වඩාත් විවේකයෙන් ගත කිරීම සඳහාත්, අලුත් අත්දැකීමක් ලබා ගැනීම සඳහාත් අප ගියේ ෆුජේරා වෙතයි. ඩුබායිහි මා වෙසෙනා තැන සිට සිට ෆුජෙරා දක්වා ආසන්න වශයෙන් කි.මී. 160 පමණ පවතී. අනෙක් එමිරේට හා සසඳන කල ෆුජේරාහි එක්තරා විශේෂත්වයක් ඇත. අනෙක් එමිරේට සියල්ලම පිහිටා ඇත්තේ පර්සියානු මුහුදු තිරයට (Persian Gulf) මුහුණලා වුවද, ෆුජේරා පමණක් ඕමාන් මුහුදු තීරයට (Gulf of Oman) මුහුණලා පිහිටා ඇත. ඩුබායි සිට ෆුජේරා යන මාර්ගය වැටී ඇත්තේ කඳුකර මාර්ගයක් මැදිනි. ලංකාවේ මධ්‍යම කඳුකරය සිහි ගැන්වෙතත්, මෙහි ඇති එකම වෙනස වන්නේ, එම කඳුවල ගසක් දැකිය හැක්කේ ඉතා කලාතුරකින් වීමයි. ඉතා ශුෂ්ක දේශගුණයකට හැඩ ගැසී ඇති මෙම පරිසරය තුල කිසිදු විශාල පරිමාණයේ ගහ කොළ දැකිය නොහැක. එසේ වුවද තැනින් තැන වැඩුනු, පත්‍ර ඉතා සිහින් කුරු ගස් මෙන්ම, ඒවා කමින් ඉබාගාතේ ඇවිද යන ඔටුවන්, එළුවන් මෙන්ම බැටළුවන්ද ඉඳහිට දැක ගත හැක. එසේම තැනින් තැන අප ක්ෂේම භූමි ලෙස හඳුන්වන ඉතා සරුවට ගස් කොලන් වැඩුණු තැන්ද මේ මාර්ගය දිගේ යනවිට දැක ගත හැක. කෙසේ වුවද මාර්ගයේ ගමන් කරන විට දක්නට ලැබෙන කඳු වලින් වටවූ පරිසරය ඉතා ප්‍රියජනකය. විශේෂයෙන් බොරළු පොළවත්, විද්‍යානුකුලව, ආරක්ෂිතව නිසිපරිදි කපා සකස් කල කඳු පන්තියද අලුත් අත්දැකීමක් අපට ලබා දුනි.


ක්ෂේම භුමි පවතින තැන්වල රට ඉඳි ගස් ඉතා සරුවට වැඩි තිබෙනුද අපට දැකගත හැකි විය. එසේම ඒ ප්‍රදේශවල සත්ව පාලනයද පවත්වා ගෙන යනු පෙනුනි. විශේෂයෙන් මස් හා කිරි පිණිස සතුන් ඇති කිරීම මේ ප්‍රදේශවල බහුලව සිදු කෙරේ. මේ කඳු ප්‍රදේශ මැදින් වැටි ඇති අධි වේගී මාර්ගයද ඉතා උසස් මට්ටමක පවතී. ඩුබායි හි මාර්ග තරමටම ඉතා පිරිසිදුවත්, නියමිත ප්‍රමිතියටත් එය නිමකර ඇත. ප්‍රධාන මාර්ගයට ඉඳහිට සම්බන්ධ වන අතුරු මාර්ගද එලෙසම මනාව නිමවා ඇත. සතුන් ඇති කරන තැන් ආශ්‍රිතව සමහර තැනෙක වගාවන් පවත්වාගෙන යන අයුරුද අපට දැක ගත හැකි විය.




(ඒ ප්‍රදේශයේ දැකගත හැකි කාන්තාර දර්ශනවල හා කඳු පන්ති දිස්වන විනාඩි කිහිපයක කුඩා විඩියෝවක්ද මේ සමග ඇත. මේ ගමනට අදාළ තවත් තොරතුරු කිහිපයක් ඊළඟ සටහනෙහි පළවේ.)

Sunday, September 11, 2016

<The eternal love>  <නොමියෙන ආදරය>



" මලක් වුනේ ඇයි නුඹ මට...."
" මල් පොකුරු පොකුරු ඇය එන මග ඈ දෙසටම නැමීයන්...."
" කල්පනා ලොව මල් වනේ..."
" ඔබ මලක් - සුවඳ මලක්...."
"මලට බමරෙකු සේ - සිතට ඔබ එනවා...."
"මල් මල් විලේ රොන් සොයා ඇයි ගියේ...."

මේ ආදී වශයෙන් ආදරය හා "මල්" සම්බන්ධ ගීත සිය ගණනක් ඔබ අසා ඇතිවාට කිසිදු සැකයක් නැහැ. එසේම ආදරය හා මල් අතර පවතින්නේ සුවිශේෂ සම්බන්ධයක්. ගසකට පොත්ත මෙන් ආදරය සමගම මල් ගැනත් කියවෙනවා. ඒ අතරින් රෝස මලට හිමිවෙන්නේ සුවිශේෂ තැනක්. ලොව පුරා රෝස මල, ආදරයේ සංකේතය ලෙස හඳුන්වන්නේද ඒ හේතුව නිසාමයි. දිගින් දිගටම මල් ගැන මේ ලියන්නේ මොනවාදැයි, මේ සටහන කියවන ඔබට "මල පනින්නටද" ඉඩ තිබෙනවා. එහෙත් මදක් ඉවසීමෙන් ඉතිරි කොටසද කියවන්නයි මා ඔබෙන් ඉල්ලා සිටිනවා.

බොහෝ අවස්ථාවල රෝස මල පරවී යන අයුරින්ම, ආදරයද මිලිනව යන්නේ හදවතට දරා ගත නොහැකි වේදනාවක් උරුම කර දෙමින්. සනාතනික ආදරයක් නොමැතිවා මෙන්ම, සනාතනික රෝස මල්ද නොමැති බව අමුතුවෙන් කිව යුතු නැහැ. " ආදරේ සනාතැනයි සිතා - මං මුලාවු ප්‍රේමවන්ති මා ..." යනුවෙන් චන්ද්‍රලේඛා පෙරේරා ගීතයෙන් ගායනා කල අයුරු ඔබ අසා ඇති. එහෙත් ආදරය සනාතනික නොවුනද, ආදරයේ සංකේතය වූ සුවිශේෂී රෝස මලක් ගැන කියන්නටයි, මේ සටහනින් මා උත්සාහ කරන්නේ.

"Forever Roses" නමින් හැඳින්වෙන මේ රෝස මල් විශේෂය, සුවිශේෂ වන්නේ ඉතා වැදගත් කරුණක් හේතුවෙනි. ඔබ අප කවුරුත් දන්නා පරිදි, ඕනෑම ගසක මලක් ඇතිවීම සඳහා ජලය හා හිරු එලිය ලබා දෙන්නේ සුවිශේෂී දායකත්වයක්. මේ දෙකෙන් තොරව, ගසක මලක් හට ගැනීම සමහර විට සිහිනයක් මෙන් සිතෙන්නටත් ඉඩ ඇත. එහෙත් ඩුබායිහි සමාගමක් මගින් වෙළඳ පොලට ඉදිරිපත් කරන "ෆොරේවර් රෝසස්" (Forever roses) යනු ජලය හා හිරු එලිය නොමැතිව වුවද, මිලිනවී යාමට නොදී පවත්වා ගන්නා සුවිශේෂී රෝස මල් විශේෂයක්. දකුණු ඇමරිකාවේ, ඉක්වදෝරයෙහි ගිනිකඳු වලින් ගලා යන ලාවා පස්හි වගා කර ඇති මෙම රෝස මල්වලට, ජලය හෝ හිරු එලිය අවශ්‍ය නැහැ. මෙහි විදුරු වලින් ආවරණය කර ඇති මල් "සදාකාලිකවත්", විදුරු වලින් තොරව පවතින මල් වසර 2-3 පමණ මිලින නොවී පවතින බවටත් ඔවුන් සහතික වනවා. සත්තකින්ම එය පුදුමයක් නොවේද....?



මුලින්ම බ්‍රිතාන්‍යයේ සමාගමක් විසින් 1999 වසරේ වෙළඳපලට එකතු කල මෙම රෝස මල්, පසුව ඩුබායිහි සමාගමක් විසින් මිලදී ගෙන ඇත. දැනට එක අලෙවිසැලකින් පමණක් සමන්විත මෙම ව්‍යාපාරය, ඉදිරියේදී ශාඛා 20 දක්වා වැඩි කිරීම කෙරෙහි ඔවුනගේ අවධානය යොමුවී තිබෙනවා . ඒ අනුව ඩුබායිහි තවත් දෙකක්ද, අබුඩාබි, කටාර් හා කුවේට් යන ස්ථාන වල එක ශාඛාව බැගින්ද විවෘත වනු ඇත. ඉතිරි ශාඛා සියල්ල පිහිටවෙනුයේ මේ රෝස මල් සඳහා සුවිශේෂී ඉල්ලුමක් පවතින සවුදි අරාබිය තුලයි. මිට අමතරව ඉදිරි කාලයේ නැවතත් ලන්ඩන්හි මෙහි ශාඛාවක් ඇරඹීමටද ඔවුන් බලාපොරොත්තු වන බව දැක්වෙනවා. ලන්ඩනයේ හැරඩ්ස්හි පැවති ශාඛාව 2007 වසරේ වසා දැමීමෙන් පසු ඇරඹෙන මුල්ම ශාඛාව මෙය බවයි පැවසෙන්නේ. ඩිරාම් 500/- (ආසන්න වශයෙන් රු. 20,000/-) මිලකින් ඇරඹෙන මේ රෝස මල් වල මිල රු. 80,000/- දක්වා පැතිරෙනවා. ඊට අමතරව, මොවුන් විසින් සාමාන්‍ය රෝස මල්ද (Garden roses) අලෙවි කරනු ලබනවා. එහෙත් ඒ රෝස මල්ද සුවිශේෂී අලංකාරත්වයකින්, සුවඳකින් මෙන්ම විශාලත්වයකින් යුතුයි. ඉක්වදෝරයෙන් හා නෙදර්ලන්තයෙන් ආනයනය කරන මෙවැනි සාමාන්‍ය රෝස මලක මිල ඩිරාම් 35/- (රු. 1400/- පමණ) වනවා.

රු. 50 ක රිලෝඩ් දාගෙන, ෆෝන් එකෙන් මල් කඩන ලංකාවේ අපේ පෙම්වතුන්, පෙම්වතියන් මෙවන් වූ මල් හුවමාරු කරගන්න බොහෝ ආසාවෙන් පසුවේවි. එහෙත් මෙහි මිල අනුව, මේ මල් හුවමාරු කරගෙන මල් කඩන්නට ගියහොත්, මල් වලට අමතරව බැංකුත් කඩන්න වෙයි කියලයි මට හිතෙන්නේ.