Tuesday, October 4, 2016

<ඩුබායි ක්‍රීක්>     <Dubai Creek>


මලලසේකර ඉංග්‍රීසි සිංහල ශබ්ධ කෝෂයට අනුව creek යන්නෙන් හැඳින්වෙන්නේ කුඩා මුහුදු බොක්කක්, කුඩා වරායක් නැතහොත් කුඩා ගඟකි. විකිපීඩියා විශ්වකෝෂයට අනුව එයම හැඳින්වෙන්නේ කුඩා දියදහර නැතහොත් රැලි නැගෙන, රට තුලට වැදුණු මුහුදු තීරයක් සඳහාය. කෙසේ හෝ ඇල මාර්ගයක් වැනි වූ, මුහුදු බොක්කක් මෙන් රට තුලට කා වැදුණු, මුහුදු ජලය සහිත, මුහුදේ තරම් නොවුවද කුඩා රැලි නැගෙන මුහුදු තිරයක්, Creek නැතහොත් 'ක්රීක් ' යනුවෙන් දළ වශයෙන් හඳුන්වා දිය හැක. ඩුබායි හි පිහිටි 'ඩුබායි ක්රීක්' යන්නද මෙවැනි ජල මාර්ගයකි. සමහර ඉතිහාස මූලාශ්‍ර වලට අනුව පුරාතනයේ මේ ජල මාර්ගය සාරා ගඟ (River Zara) ලෙස හැඳින්වී ඇති අතර, එය සැතපුම් සිය ගණනක් ඈතින් වූ අල්ඒන් (Al Ain) දක්වා විහිදී තිබී ඇත. එහෙත් අද අපට දැකිය හැක්කේ ඩුබායිහි පවතින ජල මාර්ගය පමණි.

මේ 'ක්රීක්' එක නිසාවෙන් ඩුබායිහි භුමිය ඉතිහාසයේ සිටම කොටස් දෙකකට වෙන්ව පැවතුනි. ඒ ඩේරා (Deira) හා බර් ඩුබායි (Bur Dubai) ලෙසිනි. අදටත් ඩුබායිහි ප්‍රධාන වාණිජ නගර දෙකක් වන මේ භුමි දෙක මැදින් ඩුබායි ක්රීක් ජල මාර්ගය ගලා බසී. ඩුබායිහි මුල් පදින්චිකරුවන් වන 'මක්ටුම්' වරුන් අබුඩාබිහි 'බානියාස්' ප්රදේශයෙන් පැමිණ පදිංචි වී ඇත්තේ මේ ක්රීක් එක අසලය. මිනිසුන්ට සිය කටයුතු කරගෙන යාමට ජලය අවශ්‍ය නිසා, ලංකාවේ මල්වතු ඔය ආශ්‍රිතව ජනාවාස බිහිවුවාක් මෙන්, ඩුබායිහි ක්රීක් එක අසල මේ ජනතාව පදිංචි වී ඇත. අදටත් ඩුබායිහි පාලකවරු වන්නේ මේ මක්ටුම් පරම්පරාවේ අයෙකි. ඔහු ඩුබායිහි පාලකවරයා (Ruler of Dubai) මෙන්ම, එ. අ. එ. රාජ්‍යයේ උප ජනාධිපති (Vice President of UAE) වන ෂේක් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්ටුම්ය. (Sheikh Mohammed Bin Rashid Al Maktoum)

පුරාතනයේ සිටම මේ මුහුදු තීරය වෙළඳ නාවික ගමන් සඳහා යොදා ගනු ලැබ ඇත. එහිලා නැගෙනහිර අප්‍රිකාව හා ඉන්දියාව වැනි දුර බැහැර රටවල සිට පවා කුඩා යාත්‍රා මගින් රට තුලට භාණ්ඩ ප්‍රවාහනය කිරීම සිදුකොට ඇත. කෙසේ වුවද, මේ ක්රීක් ජල මාර්ගය ඔස්සේ විශාල නාවික යාත්‍රා හෝ නැව් ගමනාගමනය සිදු කල නොහැක. එහිලා බොහෝ විට භාවිතා කරනුයේ 'ඩෝව්' නැතහොත් 'ඩෝ' (dhow) යනුවෙන් හැඳින්වෙන දැවයෙන් නිමාකල යාත්‍රා විශේෂයකි. මේ 'ඩෝ' යාත්‍රා පුරාණයේ රතු මුහුද ආශ්‍රිත කලාපයේත්, ඉන්දියානු සාගර කලාපයේත් ගමනාගමන කටයුතු සඳහා භාවිතා වී ඇත. විශේෂයෙන් මගීන් ප්‍රවාහනයට වඩා, බරින් වැඩි භාණ්ඩ ප්‍රවාහනය සඳහා මේ යාත්‍රා යොදා ගත් බව පැවසේ. එසේම මේ යාත්‍රා වල නිර්මාණ හිමිකරුවන් ගැන ඉතිහාසය අවිනිශ්චිත වන අතර අරාබින් හෝ ඉන්දියානුවන් විසින් මේවා නිපදවූ බව කියවේ. එහෙත් වැඩි දෙනෙකු අතර පවතින අදහසක් වන්නේ චීන ජාතිකයින් විසින් මෙම යාත්‍රා විශේෂය නිපදවූ බවයි. කෙසේ වුවද ක්‍රි.පූ 600 හා ක්‍රි. ව. 600 අතර කාලයේදී යේමන සහ ඕමාන ජාතිකයින් මෙවන් යාත්‍රා මිලදී ගැනීම සඳහා ඉන්දියාවේ කේරලයට පැමිණි බවටද තොරතුරු ඇත. තවද නැගෙනහිර අප්‍රිකානු රටවල හා අරාබි රටවල මුහුදු ප්‍රවාහන කටයුතු වලදී මෙන්ම, ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය වැනි රටවලද මෙම යාත්‍රා විශේෂය භාවිතා කරනු ලබයි. අදටත් අසල්වැසි ඕමානය හා අනෙකුත් අරාබි රටවලට ඩුබායි ක්රීක් හරහා මේ ඩෝ යාත්‍රා මගින් භාණ්ඩ ප්‍රවාහනය කිරීම, ඉතා සුලබ දසුනකි.

ඉතිහාසයේදී ඩුබායිහි තවත් ප්‍රධාන කර්මාන්තයක් වූයේ මුතු කිමිදිමයි. නිශ්චල වූ මුහුදු දියේ, දිය යට ගිලි අල්ලා ගන්නා මුතු බෙල්ලන්ගේ මුතු අලෙවි කිරීම මෙරට ජාතිකයින් විසින් සිදු කර ඇත. ඊට අමතරව මත්ස්‍ය කර්මාන්තයද දියුණු තත්වයක පැවතුනි. උණුසුම්, නිසල දියෙහි මසුන් වර්ග ගණනාවක් දැකිය හැකි වූ අතර එයද ඉතා දියුණු කර්මාන්තයක් විය. කෙසේ වුවද මේ ක්රීක් ජල මාර්ගය තුල විශාල යාත්‍රා ගමන් කල නොහැකි වීම, මෙහි වූ විශාලතම ගැටළුවක් විය. එනිසා මෙම ජලමාර්ගයෙන් උපරිම ප්රයෝජන ගැනීමේ අරමුණින් විශාල යාත්‍රා ගමන් කල හැකි වන පරිදි පුළුල් හා ගැඹුරු කිරීමටත්, බඩු භාණ්ඩ බෑම සහ පැටවීම සඳහා අවශ්ය පහසුකම් ඇතිකිරීමටත් පියවර ගන්නා ලදී. ඒ අනුව වර්ෂ 1955 දී සකස් කල සැලසුමකට අනුව මෙම ජලමාර්ගය ගැඹුරු කිරිමටත්, මුහුදු ඛාදනය වැලැක්වීම සඳහා දියකඩනයන් (breakwaters) ඉදිකිරීමටත්, ජලමාර්ගය දෙපස සෝදාපාළුව වැලැක්වීම සඳහා එහි ඉවුරු සැකසීමටත් පියවර ගැනුනි. එසේම එහි බඩු බෑම සහ පැටවීම සඳහා අදාළ කොටසෙහි පහසුකම් වැඩි දියුණු කිරීමටත් පියවර ගැනුනි. 1961 දී මුල්වරට මෙම ජලමාර්ගය කැනීම අරඹා එහි ගැඹුර වැඩි කරන ලදී. ඉන් අනතුරුව 1960 ගණන්වල අගභාගයේ හා 1970 ගණන් වල යලිදු කැනීම් මගින් මෙහි ගැඹුර වැඩි කොට ටොන් 500 දක්වා බරැති යාත්රා ගමන් කරවීම සඳහා ඉඩ සකස් කරන ලදී. මේ වැඩි දියුණු කිරීම් නිසා ඩුබායිහි මාර්ගවල තදබදය අඩු කිරීමටත්, අපනයන හා ප්‍රතිඅපනයන සඳහා වැඩි ඉඩක් සකස් කිරීමටත් හැකි විය.

බර් ඩුබායි හා ඩේරා කොටස මුල්වරට පාලමක් මගින් සම්බන්ධ වුයේ 1963 දිය. ඒ අල් මක්ටුම් පාලම (Al Maktoum Bridge) ඉදිකිර්මත් සමගිනි. මේ පාලම ඉදිකිරීමත් සමග ඩුබායිහි කොටස් දෙකම ගොඩබිමින් යාවුණු අතර, අද වනවිට අල් ගරුඩ් පාලම (Al Garhoud Bridge) , බිස්නස් බේ (Business Bay Crossing) හා පාවෙන පාලම (Floating Bridge) මගින්ද තවත් තැන් තුනකින් මේ කොටස් දෙක යාවී ඇත. (පාවෙන පාලමේ විශේෂත්වය වන්නේ රාත්‍රී දහයෙන් පසු උදෑසන හය දක්වා පාලමේ මැද කොටස විවෘතව නාවික ගමනාගමනය සඳහා ඉඩකඩ සැලසීමයි. එවිට වාහන ගමන් සඳහා පාලම වසා තැබේ. නැවත පසුදා උදයේ පාලමේ කොටස් දෙක සමබන්ධ කල පසු නැවත වාහන ගමනාගමනයට ඉඩ සැලසේ) අද වනවිට බර් ඩුබායි කොටස ඩේරා කොටසට සාපේක්ෂව වැඩි දියුණුවක් ලබා ඇති මුත්, ඩේරා කොටසද වාණිජමය වශයෙන් සුවිශාල දියුණුවක් ලබා ඇත. හයාත්, ටාජ්, මෙරිඩියන්, ෂෙරටන් වැනි ලොව ප්‍රකට හෝටල් දාමයන්ට අයත් හෝටල එකසිය හතලිහකට අධික ප්‍රමාණයක් ඩේරා කොටසෙහි පමණක් පිහිටා ඇත.



කෙසේ වුවද කෙතරම් දියුණු මාර්ග පද්ධතියක් තිබුනද බර් ඩුබායි සිට ඩේරා දක්වා යාමට සහ ඒමට යොදාගත හැකි ලාභම සහ පහසුම ගමන් මාර්ගය, ක්රීක් එක හරහා යාත්‍රා කරන ආබ්‍රා (Abra) නමින් හැඳින්වෙන කුඩා මෝටර් බෝට්ටුවක නැගී යන ගමනයි. ඩිරාම් එකක සුළු මුදලකින් මෙහි එක් පසෙක සිට අනෙක් පසට පහසුවෙන් යා හැකි අතර, වරකට 15-20 අතර ප්‍රමාණයකට මෙහි ගමන් කල හැක. උදෑසන සිට මධ්‍යම රාත්‍රිය ආසන්න වනතෙක් මේ බෝට්ටු සෑම විනාඩි තුනත් පහත් අතර පිටත්වේ. ග්‍රීෂ්ම සමයේ කෙසේ වුවත් අනෙක් කාලවල මෙහි ගමන ඉතා ප්‍රියජනකය. මිට අමතරව වායුසමනය කළ සාමාන්ය හා අධිවේගී බෝට්ටු සේවයක්ද මෙහි ක්‍රියාත්මක වේ. සංචාරකයින් සඳහා මෙහි විශේෂයෙන් සකස් කල බෝට්ටුවල පැය 2-3 අතර යාත්‍රා කරමින් රාත්‍රී ආහාරය ගැනීමේ පහසුකම් ඇති අතර, එය බොහෝ දෙනෙකුට සුවිශේෂී අත්දැකීමකි. සවස් කාලයේ හා සති අන්තවල බොහෝ දෙනෙකු ඇදී එන සුන්දර ස්ථාන අතරින් එකක් ලෙස ඩුබායි ක්‍රීක් හැඳින්විය හැක.

(ආබ්‍රා බෝට්ටුවකින් යන අතරතුර ගත් වීඩියෝවක් මෙහි පලකරමි. ඔබට එය නරඹා වැඩි අදහසක් ගත හැක.)