Tuesday, September 27, 2016


<ජුමේරා ලේක් ටවර්ස්>       <Jumeirah Lake Towers>

ජුමේරා ලේක් ටවර්ස් හෙවත් JLT යනු ඩුබායිහි පිහිටි, නිදහස් ආර්ථික කටයුතු සඳහා (Free zone) වෙන්කළ ප්‍රදේශයකි. මෙවැනි වෙළඳ කලාප ගණනාවක් ඩුබායිහි පිහිටුවා ඇති අතර, ඒ එකිනෙක විවිධ කර්මාන්ත හා සේවා, ව්‍යාපාර සඳහා වෙන් කර ඇත. මේ JLT වැදගත් වන්නේ, වටිනා ලෝහ හා ඛනිජ වර්ග ආශ්‍රිත ව්‍යාපාර මෙන්ම වෙනත් වටිනා වෙළඳ භාණ්ඩ සඳහා වෙන්කරන ලද ප්‍රදේශයක් වීම නිසයි. මේ නිසා මෙය හැඳින්වෙන්නේ DMCC free zone (Dubai Multi Commodities Centre) යනුවෙනි. රත්‍රන්, මැණික්, රිදී, දියමන්ති, ප්ලැටිනම් හා අනෙකුත් වටිනා ලෝහ වර්ග ආශ්‍රිත ව්‍යාපාර ගණනාවක් මේ JLT හි පිහිටුවා ඇත. කෙසේ වුවද මේ තුල පිහිටා ඇත්තේ ඊට සම්බන්ධ ව්‍යාපාර පමණක්ම නොවේ. වෙනත් අංශ හා සම්බන්ධ ව්‍යාපාර ගණනාවක්ද මේ තුල ක්‍රියාත්මක වේ. ඒ වෙනුවෙන් ඊට අදාලව ඉදිකළ කාර්යාල හා නිවාස සංකීර්ණ ගණනාවක් මෙහි පිහිටුවා ඇත.

අද වනවිට ලොවපුරා ඇති මෙවැනි ව්‍යාපාර 9000 කට වඩා මෙම DMCC හි ලියාපදිංචිවී ඇත. ලොව ප්‍රමුඛ පෙලේ වෙළඳ ආයතන ගණනාවක් මේ තුල සිය ව්‍යාපාර පවත්වාගෙන යනු දක්නට ලැබේ. American Express, Clarkson, Conoco Phillips, DAMAS, Debeers Diamdel, GIA India Laboratory, Glencore, Harley Davidson, Louis Dreyfus, LVMH, Rio Tinto Alcan වැනි ලොව ප්‍රමුඛ පෙලේ ව්‍යාපාර ආයතන ඒ අතර වේ. එසේම අද වනවිට ඩුබායි, රත්‍රන්, දියමන්ති හා තේ සඳහා ලොව ප්‍රමුඛතම අලෙවි මධ්‍යස්ථානයක් බවට පත්වී ඇතැයි සඳහන් කළහොත් ඔබ පුදුම වන්නටත් ඉඩ ඇත. මෙවැනි වෙළඳ භාණ්ඩ ගනුදෙනු සඳහා 2002 දී ඇරඹු මෙම වෙළඳ කලාපය, අද වන විට බොහෝ ව්‍යාපාර සඳහා මුලස්තානයක් බවට පත් වී ඇත.

මා පෙර සඳහන් කල පරිදි මෙම DMCC free zone යටතේ මෙම JLT ගොඩනැගිලි සංකීර්ණය ඉදිවී ඇත. මෙම ගොඩනැගිලි ඉදිවී ඇත්තේ මනා සැලසුමකට අනුවය. මෙහි මුලිකවම කෘතිමව බිහිකළ විල් නැතහොත් ජලාශ (lakes) හතරක් ඉදිකොට ඇත. එම විල් Lake Almas West, Lake Almas East, Lake Elucio සහ Lake Allure ලෙස නම් කොට ඇත. සෑම විලක්ම මීටර් තුනක පමණ ගැඹුරකින් යුක්තය. මේ සියලු ගොඩනැගිලි ඉදිකොට ඇත්තේ මේ ජලාශ ආශ්‍රිතව හෝ ඒවාට මුහුණලාය. එහිලා පොකුරු නැතහොත් සමුහයන් (Clusters) විසිහයක් යටතේ මේ ගොඩනැගිලි ඉදිකොට ඇත. සෑම පොකුරක් තුලම ගොඩනැගිලි තුන බැගින් ඉදිකර ඇති අතර එම සමුහ නැතහොත් ක්ලස්ටර්ස් A සිට Z (A-Z) ලෙස නම්කර ඇත. මෙහි ප්‍රධාන ගොඩනැගිල්ල වන්නේ අල් මාස් (Al Mas) ගොඩනැගිල්ලයි. තට්ටු නැතහොත් මහල් 66 කින් සමන්විත මෙම ගොඩනැගිල්ල තුල, මෙහි පරිපාලන කාර්යාලය මෙන්ම දියමන්ති ව්‍යාපාර ස්ථාන ගණනාවක් පිහිටුවා ඇත. මේ ගොඩනැගිලි සියල්ල අතරින් උසම හා වැදගත්ම ගොඩනැගිල්ල මේ අල් මාස් ගොඩනැගිල්ලයි. අල් මාස් නැතහොත් අරාබි බසින් "දියමන්තිය" ලෙස හැඳින්වෙන මෙම ගොඩනැගිල්ල ඉතාමත්ම සිත්ගන්නා ගොඩනැගිලි සැලසුම් ශිල්පයකට අනුව ඉදිකර ඇති අතර මෙහි පොළවෙන් යට කොටසෙහි (basement) දියමන්ති ගබඩා පිහිටා ඇත. මෙම ගොඩනැගිල්ලේ ඇති කාර්යාල හා නිවාස අයිතිකරුවන් සියල්ලම පාහේ ආභරන ව්‍යාපාරිකයින් හා නිෂ්පාදකයින් බවද සඳහන් කල යුතුය. මිට අමතරව Au හා Ag යනුවෙන් තවත් ගොඩනැගිලි දෙකක් ඉදි කොට ඇති අතර මේ දෙක තුල පිලිවෙලින් රත්‍රන් සහ රිදී ව්‍යාපාරික ආයතන පමණක් පිහිටුවා ඇත. වඩාත් සිත ඇදගන්නේ, මේ ගොඩනැගිලි දෙක රන්වන් සහ රිදී පැහැයෙන් දිස්වන පරිදි ඉදිකොට තිබීමෙනි.

සෑම සමුහයකම (clusters) ගොඩනැගිලි තුන බැගින් ඉදිකර ඇති බව මිට ප්‍රථම පැවසුවෙමි. එම සෑම ගොඩනැගිල්ලක්ම තට්ටු නැතහොත් මහල් 35-45 අතර වන පරිදි ඉදි කර ඇත. මින් ගොඩනැගිලි බොහොමයක් නිවාස පහසුකම් සහිත (residential) ඒවා වන අතර, සමහරක් කාර්යාල සඳහා පමණක් භාවිතා කරන (office towers) වේ. නිවාස පහසුකම් සහිත ගොඩනැගිලි වල ස්ටුඩියෝ වල සිට නිදන කාමර තුනක් දක්වා වූ නිවාස පිහිටුවා ඇති අතර, එම සෑම ගොඩනැගිල්ලකම පැය විසිහතරේ ආරක්ෂාව, අධිවේගී විදුලි සෝපාන, වායුසමණය, පිහිනුම් තටාක, ව්‍යායාම මධ්‍යස්ථාන, ජකුසි, අධිවේගී අන්තර්ජාල පහසුකම්, වාහන නැවතුම් පහසුකම් ඇතුළු නවීන පහසුකම් සියල්ලෙන්ම සමන්විත වේ. කැමති කෙනෙකුට 99 අවුරුදු බදු ක්‍රමය වටතේ මේ නිවාස මිලදී ගතහැකි අතර, අවශ්‍යනම් මිලදී ගත් පුද්ගලයෙකුගෙන් හෝ දේපල සමාගමකින් තාවකාලිකව බදු ගෙන පදිංචි විය හැක. කාර්යාල ගොඩනැගිලිද සියලු නවීන පහසුකම් වලින් සමන්විත අතර, මිලදී ගැනීම හෝ බදු ගැනීම කල හැක. ඩුබායි- අබුඩාබි අධිවේගී මාර්ගයට, මෙට්‍රෝ පද්ධතියට හා බස් මාර්ගයනට මුහුණලා පිහිටීම නිසා අද වනවිට මේ ප්‍රදේශයේ පදිංචියට ඇත්තේ දැඩි ඉල්ලුමකි. බොහෝ යුරෝපිය හා වෙනත් ජාතිකයින් අතර ප්‍රසිද්ධියක් උසුලන මෙම නිවාස සංකීර්ණ වල අනෙකුත් ජාතිකයින්ද නැතුවාම නොවේ. මේ JLT ආශ්‍රිතව පමණක් දැනටමත් බොජුන්හල් (restaurant) 200 කට අධික ප්‍රමාණයක් ඇරඹි ඇත. මිට අමතරව ඩේ කෙයා, රුපලාවන්‍ය මධ්‍යස්ථාන, සුපිරි වෙළඳසැල් ඇතුළු සියලු පහසුකම් මෙහි ඇත. ඇවිදින මංතීරු බොහොමයක් මේ විල් අසලින් වැටි ඇති අතර, සවස් වරුවේ හා රාත්‍රී කාලයේ විදුලි බුබුළු දැල්වූ විට ඉතා දැකුම්කලු, චිත්තාකර්ශනීය පරිසරයක් මේ අවට බිහිවේ.

මෙම නිවාස හා කාර්යාල සංකීර්ණ වලට අමතරව මින් ගොඩනැගිලි කිහිපයක අති සුඛෝපභෝගී තරු පන්තියේ හෝටල් කිහිපයක්ද පවත්වාගෙන යනු ලැබේ. සුපිරි ධනවතුන් උදෙසා ඉදිකළ මේවායෙහි, ලොව නන් දෙසින් ව්‍යාපාර සඳහා මෙන්ම, සංචාරය සඳහා පැමිණෙන බොහෝ පිරිස් නතර වී සිටිනු දැකිය හැක. එසේම මුදල් ඇති අයට එම ව්‍යාපෘති වල ආයෝජනය කිරීමටද හැකියාව ඇත. ඔබට අවැසි නම් මෙම නිදහස් වෙළඳ කලාපය තුල ව්‍යාපාරයක් ඇරඹීම හෝ දේපල මිලදී ගැනීමක් සිදුකල හැක. ඒ සඳහා උපදෙස් හා තොරතුරු ලබා ගත හැකි ආයතන රාශියක්ද මේ කලාපය තුල පිහිටා ඇත.

එහිදී ලබාගත් වීඩියෝවක් මේ සමග පලකරමි. ඉදිරියේදී ඩුබායිහි තවත් චිත්තාකර්ශනීය තැනක, තොරතුරු සමගින් හමුවන තෙක් සමුගන්නම්. ඔබ සැමට ජය හා සතුට...!