Tuesday, November 22, 2016

"පිදුරුතලාගල හමගහුවොත් මේ වගේ වෙයිද.....?"


පිදුරුතලාගල යනු ශ්‍රී ලංකාවේ උසම කඳු මුදුන බව ලොකු කුඩා සියලු දෙනා දන්නා කාරණයකි. කඳු මුදුනට නොනැගියද, අවට සිට බලන විට හරිත පැහැයෙන් දිදුලන්නේ, ඒ මත වැවී තිබෙන ගහකොල නිසා බව අමුතුවෙන් කිවයුතු නොවේ. උසින් මීටර් 2524 හෙවත් අඩි 8281 වූ මේ මහා කඳු රාජයා, ශ්‍රී ලංකා භුමි තලයට ගෙන දෙන්නේ සුවිශාල අලංකාරත්වයක් බව අවිවාදිතය. ලොව සෑම රටකම උසම කඳු මුදුනට, සුවිශේෂත්වයක් හිමිවීම මිට හේතුවයි. එසේ ලොව සෑම රටකම උස් කඳු තිබුනද, කාන්තාර රටවල උස කඳු තිබිය හැකිද....? සමහරෙකුට මේ පැනය කවදාහෝ මතුවී තිබෙන්නටද පුළුවන. මේ සටහන ඩුබායිද ඇතුලත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උසම කඳු මුදුන ගැනයි.




ජේස් මවුන්ටන් යනුවෙන් කටවහරේ හඳුන්වන, Jebel Jais යනු එකසත් අරාබි එමීර් රාජ්‍යයේ පවතින උසම කඳු මුදුනයි. මීටර් 1910 හෙවත් අඩි 6266 උස මේ කඳු මුදුන පිහිටා තිබෙන්නේ, රසල් කයිමා (Ras Al Khaimah) යනුවෙන් හැඳින්වෙන එමිරේටය තුලයි. එ.අ.එ. රාජ්‍යයටත්, ඔමානයටත් මායිම්ව පිහිටා ඇති මේ කඳු මුදුනේ ඇති සුවිශේෂත්වය වන්නේ, එහි මුදුනටම වාහනයකින් යා හැකි වීමයි. සර්පිලාකාර ආකාරයෙන් ඉදිකර ඇති මෙම මාර්ගයේ, වාහනයකින් කඳු මුදුන බලා ඇදෙන විට පහතින් පෙනෙන දර්ශනය, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉතා අලංකාර දසුනකි. 

ඉතාමත් අලංකාර අයුරින් ඉර බැසීමේ සොඳුරු දසුනද මෙම කඳු මුදුනේ සිට මනාව දැක බලාගත හැකි අතර, රථ වාහන නවතා මෙම අලංකාර දසුන දැක බලා ගත හැකි නැරඹුම් ප්‍රදේශද ඉදි කොට ඇත්තේ ඉතා උසස් අන්දමිනි. එසේම මෙහි මුදුන කරා දිවෙනා මහා මාර්ගය ඉතා විශිෂ්ට අන්දමින් නිමවා තිබෙන බවද විශේෂයෙන් සඳහන් කල යුතුය. එසේම විවේක ගන්නා ස්ථාන වල මස් පුළුස්සා ගැනීමේ පහසුකම් (බාබකිව්) සකසා ඇති අතර, ටෙන්ට් වල ගුලිවී රැය පහන් කිරීමද සිදුකල හැක. කන්දේ ඇති උස නිසා ෂිත සෘතුවේ උෂ්ණත්වය -3 දක්වා වුවද පහල බැසිය හැකි බව විශේෂයෙන් සඳහන් කල යුතුය. මේ සියල්ලටමත් වඩා සුවිශේෂීම දෙය නම්, මේ මාර්ගයේ හා අනෙකුත් ස්ථාන වල පවතින පිරිසිදු භාවයයි. ශ්‍රී ලංකාවේ සිරිපාදය නැගීමේදී පවා, ගෙන යන කසල තැන තැන දමා යන මිනිසුන් දෙස බලන කල, මෙවන් රටක මෙවන් වූ පිරිසිදුකමක් පවත්වාගෙන යෑම, ඇත්තෙන්ම අපට ලැජ්ජාවක් නොවේද....? තවමත් ඉදිකිරීම් නිමකර නොමැති මෙහි අනාගතයෙහි හෝටලයක්, කේබල් කාර් ව්‍යාපෘතියක්, පැරා ග්ලයිඩින් ඇතුළු තවත් බොහෝ අංග ගණනාවක් ඇතුලත් කිරීමට බලාපොරොත්තුවේ. 

කෙසේ වුවද, කෙතරම් සුන්දර දර්ශනයක් දැක ගත හැකි වුවද, මෙහි මා දුටු යම් සුවිශේෂත්වයක් ඇත. එනම් මේ කඳු පන්තිය තුල කිසිදු ගහකොලක් දැකිය නොහැකි වීමයි. අධික උෂ්ණත්වය හේතුවෙන්, පොලව අධික වියලි ගතියකින් හෙබි නිසා මෙහි ගහකොල දක්නට නොමැත. ඒ නිසාම මේ කන්ද දුටු මට සිතුනේ, පිදුරුතලාගලද හමගැසුවොත් නැතහොත් ගස් වැල් ඉවත් කළහොත් මේ අයුරින්ම දිස්වෙනු ඇතැයි යන අනුමානයයි.