Tuesday, October 10, 2017

රට ඉඳි (Dates)


රට ඉඳි ගැන ඔබ බොහෝ දෙනෙකු අසා ඇතිවාට සැකයක් නැහැ. ඒ වගේම රට ඉඳි රස විඳ තිබෙන්නටත් පුළුවන්. රට ඉඳි ගස වැඩිපුරම දැකිය හැකි වන්නේ  මැද පෙරදිග කලාපයේ බව විශේෂයෙන් සඳහන් කල යුතුය. එහි පවතින ශුෂ්ක කාලගුණය, රට ඉඳි ගසේ වැඩීමට මනා පිටුවහලක් වී තිබේ. ක්‍රි. පූ. 5000 කට ආසන්න අතීතයේ පවා, රට ඉඳි වගාව මැදපෙරදිග කලාපයේ සිදුව තිබෙන බවට දැනට සාක්ෂි හමුවී ඇත. ඉපැරණි මෙසපොටේමියානු ශිෂ්ටාචාර යුගයේ පවා රට ඉඳි වගාව පැවැති බව පැවසෙනවා. පළතුරක් ලෙස මෙන්ම ආහාරයක් වශයෙන්ද රට ඉඳි භාවිතා කොට තිබෙනවා. කෙසේ වුවද අද වන විට මැද පෙරදිග කලාපයට අමතරව, අප්‍රිකානු හා තවත් බොහෝ රටවල රට ඉඳි වගාව සිදුකරනු ලබනවා. ශ්‍රී ලංකාවේද නැගෙනහිර පළාතේ සමහර ප්‍රදේශවල රට ඉඳි ගස් වගා කොට ඇති බව, පසුගිය කාලයේ අසන්නට ලැබුණි.




තාල වර්ගයේ ගසක් වන රට ඉඳි ශාකය, පිරිමි හා ගැහැණු ශාක ලෙස වර්ග දෙකකින් යුක්තයි. මෙයින් පල හටගනු ලබනුයේ ගැහැණු ශාක වල පමණි. වර්තමානයේ මහා පරිමාන වගා වලදී කෘතීම පරාගනය යොදා ගනු ලබන අතර, ඒ මගින් වැඩි අස්වැන්නක් ලබා ගැනීම අපේක්ෂාවයි. මෘදු, අර්ධ වියලි සහ වියලි වශයෙන් ක්‍රම තුනකින් යුතුව රට ඉඳි වෙළඳ පලේ දැකිය හැකි අතර, විවිධ වර්ගයේ, විවිධ ප්‍රමානවල, විවිධ රසයෙන් යුතු රට ඉඳි වර්ග බොහෝ ගණනක් දැකිය හැක. ලංකාවේ අප බොහෝ විට දකින කළු පැහැති රට ඉඳි වලට අමතරව, ලා කහ, රන්වන්, රතු, මෙරූන්, දුඹුරු වැනි වැනි විවිධ වර්ණවල රට ඉඳි දැක ගත හැකියි. අප බොහෝ විට ප්‍රියකරනුයේ මෙම ඉදී, පැණි බේරෙන රට ඉඳි වලට වුවද, යාන්තමට ඉදිගෙන එන අර්ධයක් කහ සහ අර්ධයක් රන්වන් පාට වූ රට ඉඳි අනුභවයට ගැනීමට අරාබි ජාතිකයින් බොහෝ ප්‍රිය කරනවා. එසේම සමහර රට ඉඳි වර්ග ඉතාමත්ම මිල අධික බවද මෙහිලා සඳහන් කල යුතු වෙනවා.

දෙවියන් විසින් දුන් ආහාරයක් ලෙස අරාබි ජාතිකයින් සලකන රට ඉඳි බොහෝ පෝෂණයෙන් යුතු ආහාරයක්ද වනවා. විශේෂයෙන් රාමසාන් උපවාස කාලයේ, උපවාසය අතහරින විට පළමුවෙන් ආහාරයට ගනු ලබනුයේද, රට ඉඳි වීම තුලින් මෙහි ඇති වටිනාකම වටහාගත හැකියි. බොහෝ විට වෙළඳ පළේදී රට ඉඳි පැණි, සිරප් මෙන්ම, කජු, මිදි, ආමන්ඩ් වැනිදේ සමග මිශ්‍ර කල රට ඉඳි රස බැලීමේ හැකියාවද පවතිනවා. ඔබටත් කෙදිනක හෝ මැදපෙරදිග රටකට පැමිණිය හැකිනම්, මේ රසවත් පලතුර රස විඳීමට අමතක කරන්නට එපා.