Tuesday, September 26, 2017

" අඹ, දඹ, නාරං, කෙසෙල්, දෙල්, පනා කකා මේ......."


මේ චායාරුපවලින් පෙනෙන ස්ථානයට කිහිප වතාවක් ගොස් තිබුනද, ගැන සටහනක් ලිවීමට සිතුනේ නැහැ. එහෙත් පසුගිය දිනෙක අහම්බෙන් මෙන් මගේ පැරණි චායාරුපයක් FB හි upload කලවිට ලැබුණු ප්රතිචාර නිසා ගැන යමක් ලිවයුතු යයි හැඟී ගියා. මෙහි දැක්වෙන්නේ ඩුබායිහි පිහිටි පලතුරු යුෂ හා ආශ්රිත නිෂ්පාදනය හා අලෙවිය සිදු කරන අවන්හලෙක දර්ශනයක්. ඩුබායිහි සිටින හෝ මෙහි සංචාරය කල කෙනෙකුට නම් මෙය අරුම පුදුම දෙයක් නොවන්නට ඉඩ තිබෙනවා. එහෙත් ලංකාවේ සිටින මාගේ හිතවතුනට මෙය වෙනස් අත්දැකීමක් වනවාට සැකයක් නැහැ. මෙහි පවතින කලාත්මක බව, බෙහෙවින්ම සිත් ඇද ගන්නක්.

මෙහි සඳහන් ජුස් ව්යාපාර ජාලයේ අලෙවි හල තුනක් දැනට ඩුබායිහි පිහිටුවා තිබෙනවා. බොහෝ ඉඩ පහසුකම් ඇති මෙම අවන්හල් වල ඇතුලත මෙන්ම, පිටත පදික වේදිකාව මතත්, අලංකාර මේස පුටු වලින් සමන්විතව පවතිනවා. පලතුරු යුෂ (fruit juice) පානය සඳහා පැමිණෙන අයට ඉතා සුව පහසුව, විවේකිව පලතුරු යුෂ පානය සඳහා ඉඩ සලසා දීමටයි. ඔවුනගේ මෙනු පතේ සඳහන් වී ඇති අන්දමට විවිධ වර්ගයේ පලතුරු යුෂ වර්ග 146 හා අතුරුපස වර්ග 3 සඳහන් වනවා. ලංකාවේ මුදලින් රු. 400/- සිට මේ මිල ගණන් ඇරඹෙනවා. කුඩා බෙරි ගෙඩියේ සිට අන්නාසි, කොමඩු වැනි විශාල පලතුරු දක්වා වූ පරාසයක මෙම පලතුරු යුෂ වර්ග පැතිර පවතිනවා. එසේම රු. 2000/- සිට රු. 40,000/- දක්වා වූ මිල ගණන් වලට පලතුරු වලින් සැකසු සැරසිලි හා පලතුරු පිඟන් මිලදී ගැනීමටද හැකියි. රු. 40,000/- පවතින්නේ විවාහ සංවත්සර (Wedding anniversary gift) ත්යාගයක් ලෙස දිය හැකි පලතුරු සැකසුමකි. එසේම චොකලට් හා අයිසිං වලින් සැරසු විවිධ පලතුරු වර්ගද මේ සමහර සැකසුම් වලට ඇතුලත්. පලතුරු යුෂ වර්ග අතර තනි පලතුරු වර්ග මෙන්ම, එකිනෙක මිශ් කොට සැකසු පලතුරු බිම වර්ග 146 පවතිනවා. ඒවායේ රසයද ඉතාම ඉහලයි.

කෙසේ වුවද මේ සියල්ලටම වඩා ආකර්ශනීයම දෙය වන්නේ, මෙහි ඇතුලත විවිධ රටා වලට අනුව පලතුරු එල්ලා ඇති ආකාරයයි. වැල් වශයෙන් මෙන්ම, තැනින් තැනද විවිධ රටාවනට අනුව, මේ පලතුරු ප්රදර්ශනය කොට ඇති අතර සියල්ලම ස්වභාවික පලතුරුයි. කිසිදු දෙයක් සෙල්ලම් බඩු හෝ ප්ලාස්ටික් නොවේ. එනිසාම, පලතුරු යුෂ විදුරුවක රස බලන්නට මෙහි එන බොහෝ දෙනෙකු අතර හිඳ චායාරුපයක් ගැනීමට අමතක නොකරන්නේ, එය අතිශය සුන්දර අත්දැකීමක් මෙන්ම දුලබ දර්ශනයක් වන නිසාමයි. කුඩා දරුවන් මෙන්ම වැඩිහිටියන්ද මෙම ස්ථානයේදී එකසේ විනෝද වන අයුරු දැක ගත හැකියි


ගහකොළ පිරුණු අපේ රටේදී නැවුම් පලතුරු යුෂ බිඳක් තොල ගෑම කොතරම් අසිරුදැයි ඔබ දන්නවා ඇති. සති ගණන් බක්කිවල වේලි, තැලී පරුවී යන කලට ජූස් බවට පත් වන පලතුරු හා, මේ අතර කෙතරම් විශාල වෙනසක් පවතිනවාදැයි ඔබටම සිතා ගත හැකියි. මේ සුන්දර ස්ථානයට යනවිට, ලංකාවේ ගහකොලවල ඉදී, වවුලන් කා බිම වැටි විනාශ වන පලතුරු ගැන සිතෙන්නේ, "අනේ අපොයි....!" කියාමය.









අමුඩ ගොවීන්ට "ඇප්"......!


ගොවියා යන වචනය ඇසෙන විටම අපගේ සිහියට නැගෙනුයේ, බුලත් කහට බැඳුනු දත් දෙපෙලෙන් යුතු, අමුඩයෙන් සැරසුණු, උදැල්ල උරය මත රඳවාගත් කළුවන් සිරුරෙන් යුතු අහිංසක මිනිසෙකි. අප කුඩා කාලයේත්, වර්තමානය වන විටත් ගොවියා යන පදය ඇසෙන විට, මිට වෙනස් චිත්ත රුපයක් මැවෙන්නේ නම් එය පුදුමයට කාරණයක්ද වනු ඇත. මේ තත්වය වෙනස් කිරීමටද අප රට පාලනය කල දේශපාලකයින්ට නොහැකි වී ඇති අතර, එසේ වෙනස් කිරීමට උත්සාහ කල හා කරන පාලකයින්ටද නොයෙක් පරිභව වලට ලක්වීමටද සිදුවී ඇත. එසේම කිසිදා බලයට පැමිණීමට නොහැකි සමහර පක්ෂ වලටද අවැසි වී ඇත්තේ ගොවියා යනු අමුඩයටත්, බුලත් විටටත් සිමා කොට තබාගනිමටය. මන්ද ගොවියා ඉන් මිදුනු දිනයට ඔවුනට සටන් පාඨ නැතිවී යන හෙයිනි.

මා මේ ලිවීමට යන තොරතුර, මා වෙසෙන රටට අදාළ නොමැති වුවද මේ සටහන තැබීමට සිතුවේ වෙනස් වන ලෝකය සමග වෙනස් වීමට අකමැති අපේ රටේ ජනතා ආකල්ප නිසා, අප රට කොතරම් දුරට පසුගාමී ඇතිද යන වග පෙන්වීමටය. මිට දින කිහිපයකට ඉහත අන්තර්ජාලය හරහා ලංකාවේ ප්රවුත්ති නරඹන විටක දුටුවේ, පසුගිය කාර්තුවේ ලොව අඩුම අන්තර්ජාල හෙවත් internet අගයක් පැවතියේ ඉන්දියාවේ බවයි. අධික ජනගහනයත්, විශාල පිරිසක් අන්තර්ජාලයට පිවිසීම නිසාත් මේ තත්වය ඇතිවී ඇති බව එහි සඳහන් විය. කෙසේ වුවද මිට දින කිහිපයකට පෙර මෙහි පුවත්පතක සටහන් වූ තොරතුරක් දැක පුදුමයට පත්වීමි. එතරම් අන්තර්ජාලය නොදියුණු ඉන්දියාවේ කෘෂිකර්මයට අදාළ මොබයිල් ඇප් එකක් සකසා ඇති බවත්, එය ප්රයෝජනයට ගෙන කාලගුණය, කෘෂිකර්මයේ නව තොරතුරු, බෙහෙත් වර්ග, වෙළඳපොල තොරතුරු ලබා ගන්නා ලෙස ඉන්දීය අගමැති නරේන්ද් මෝඩි මැතිතුමා ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින බව එහි සඳහන් විය. අප රටේ ඇප් සකසනවා තබා, සිදුවන බොහෝ විෂමාචාර ක්රියා වලක්වා ගැනීම සඳහා සහ සහනාධාර ගොවීනට ලබා දීම සඳහා අන්තර්ජාලය හරහා ලියාපදිංචි වීමට දැන්වූ විට ඇතිවූ ප්රතිචාර පසුගිය කාලයේ අපට දැකිය හැකිවිය. එහෙත් අපටත් වඩා දුෂ්කර ඉන්දියාවේ, මිට වඩා බොහෝ දුර ගිය ගමනක් අරඹා ඇත.


ලොව බොහෝ රටවල ගොවියන් යනු මඩ තවරාගත්, උදලු කරේ රඳවාගත්, බුලත් විට සප්පායම් වන දිළිඳු නුගතුන් නොවන බව ලංකාවෙන් පිට, විවිධ රටවල වෙසෙන බොහෝ දෙනෙකු දන්නවා ඇත. එහෙත් ලංකාවේ ගොවියන් එවැනි දියුනුතැනකට එනවා දකින්නට ඔවුන් වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලන බොහෝ දෙනෙකු කැමති නැත. මා ඉහතින් දැක්වූ හේතුව නිසාවෙනි. කෙසේ වුවද රටක් හැටියට ඉදිරියට යාමට නම් අප කලයුත්තේ මේ වෙනස් වන ලෝකය හා තාක්ෂනය සමග අප රටට සුදුසු පරිදි අපද බද්ධ වීමය. එසේ නොවන තාක් බොහෝ අංශ වලින් පසුගාමී වීමට අපට සිදුවනු ඇත. රුපවාහිනිය හඳුන්වාදුන් අවදියේ "හූනියම් පෙට්ටිය" යනුවෙන් පැවසු මිනිසුන්ට එහි වටිනාකම වටහා ගැනීමට වසර ගණනාවක් ගතවිය. පරිඝනක හඳුන්වා දිමේදීද එය එසේම විය. අනුවම අන්තර්ජාලයද වර්ඝ කෙරිණි. කෙසේවුවද දේශපාලන කෝණයෙන් නොබලා හොඳ දෙයින් ප්රයෝජන ගැනීමට අප පුරුදු නොවන තාක් කල් මේ කටයුතු එලෙසම පවතිනු ඇත.