Wednesday, November 16, 2016

"කාන්තාවන්ට සුවිශේෂයි"


"රත්තරන් නෙත් දෙකින් - සලා සිහිල් පවන් 
ජිවිතේ ලසෝ තැවුල් - නිවන්න රත්තරන්"

ටී.එම්. ජයරත්න ශුරින් ගැයූ මේ ගීතය ඔබ බොහෝ දෙනෙකු අසා ඇතුවාට සැකයක් නැහැ. රත්තරන් ඇස් වලින් සිහිල් පවන් සලන්නේ කෙසේද යන්න ගැටළුවක් වුවත්, බොහෝ පෙම්වතුන් අතර එකල මෙය ඉතා ජනප්‍රිය ගිතයක්ව පැවති බව ඔබට මතක ඇති. (වත්මන් බසින් "මල් කඩන" විටත් මේ පද පේලි sms හා FB message වල තවමත් අඩංගු වන බවද ඉඳ හිට දැකිය හැකිය) කෙසේ වුවද ගී පදවැල් අතර රත්තරන් නැතහොත් රත්‍රන් ගැන සඳහන් වන එකම අවස්තාව මෙය නොවේ.

"රත්තරන් පෙම් පුරානේහි සිතුවම් මකා..."
"රත්තරනින් රන් මාල නොබැන්දට..."
"රත්තරන් ප්‍රාර්ථනා..."
"රත්තරන් ආදරේ...."
"රත්තරනේ නුඹ ගියදා..."

වැනි තවත් ගීත සිය ගණනක් උදාහරණ ලෙස දැක්විය හැක. කෙසේ වුවද මේ බොහෝ ගීත වල රත්තරන් යන පදය යොදා ඇත්තේ, එහි අනෙක් පාර්ශවය, එනම් ස්ත්‍රිය හෝ පුරුෂයා තමනට බොහෝ වටිනා බව පෙන්වීමටය. කෙසේ වුවද මගේ මේ උත්සාහය ගී පද විවරණයක යෙදීමට නොවේ. ඔබ, මම, අප කවුරුත් ආශා කරන රත්‍රන් ගැන තොරතුරු බිඳක් ගෙන ඒමටය. මේ ලිපිය කාන්තාවන්ට සුවිශේෂ බව මුලින්ම මා පැවසුවේ එනිසාය. මන්ද රත්‍රන් වලට වැඩියෙන්ම ආශා කරනුයේ කාන්තාවන් නිසාවෙනි. මේ ඔබ බොහෝ දෙනෙකු අසා ඇති, ඩුබායිහි පිහිටි රත්‍රන් අලෙවි මද්‍යස්ථානය නැතහොත් "Gold Souq" (ගෝල්ඩ් සූක්) පිළිබඳවයි.

ඩුබායි යනු සංචාරක ආකර්ෂණය ඉතාමත්ම ඉහලින් දිනාගත්, ලොව ප්‍රධාන පෙලේ වාණිජ නගරයකි. දිනපතාම ලක්ෂ ගණනින්, ලොව වටාම සිටින සංචාරකයින් ඩුබායි වෙත පැමිණෙන්නේ මෙහි ඇති වානිජමය පරිසරය නිසාවෙනි. ස්වභාවික ගංගා ඇලදොළ වනාන්තර හිඟ වුවද, ලොව ඕනෑම රටක පුද්ගලයෙකුට මෙහි පැමිණ ජිවත් වීම අපහසු නොවේ. මුදල් තිබේනම් ලොව පවතින ඕනෑම දෙයක් ලබා ගැනීමේ පහසුව මෙහි සිටින පුද්ගලයන්ට ඇත. මිට පෙරද මා විසින් ඩුබායිහි පවතින සමහර දේ ගැන මේ පිටුවේ තොරතුරු ලියා පල කල නිසා, ඒවා කියවූ ඔබට ඒ පිලිබඳ තොරතුරු දැන ගන්නට ලැබී ඇතැයි සිතමි. අද මා මේ තොරතුරු ඉදිරිපත් කරන ඩුබායිහි ගෝල්ඩ් සූක් යන්නද මෙහි ඇති සුවිශේෂී ස්ථානයකි.

ඩුබායිහි ප්‍රධාන ගෝල්ඩ් සූක් දෙකක් ඇත. එනම් පැරණි හා නව වශයෙනි. (Old Gold Souq and New Gold Souq) මිට අමතරව මහා පරිමාණයෙන් රත්‍රන් ගනුදෙනු සඳහා ගෝල්ඩ් ඇන්ඩ් ඩයමන්ඩ් පාර්ක්ද, ඩුබායි මෙටල් ඇන්ඩ් කොමොඩිටීස් සෙන්ටර් යනුවෙන්ද ස්ථාන දෙකක් ඇත. කෙසේ වුවද, එදිනෙදා රන් ආභරණ මිලදී ගැනීම සඳහා තවත් සිය ගණනක් රන් වෙළඳ සැල් රට තුල පිහිටුවා ඇත. මේ සියල්ල අතරින් වඩා සිත් ගන්නා හා ජනතාව වැඩියෙන්ම ඇදෙන ස්ථානය, ඩේරා ප්‍රදේශයේ පිහිටි පැරණි ගෝල්ඩ් සුකයයි.

තවමත් ඉපැරණි බව රැඳි ඩේරා ගෝල්ඩ් සුකය තුල රන් ආභරණ අලෙවිසල් 300 කට අධික සංක්‍යාවක් පිහිටා ඇත. මේවා කුඩා පරිමානයේ සිට මහා පරිමාන අලෙවි සල් ලෙස විවිධ ප්‍රමාන වලින් යුක්තවේ. එසේම මින් සමහරක් ආයතන, අනෙක් කුඩා වෙළඳ ආයතන වෙත රත්‍රන් කුට්ටි හා ආභරණ විකුණන අලෙවි සල් ලෙසද ක්‍රියා කරයි. මෙම ගෝල්ඩ් සුකය තුල කැරට් 18,21 හා 22 ආභරණ මෙන්ම කැරට් 24 කාසි හා රන් කුට්ටි (gold bars) විකිණීම සඳහා ඇති අතර, පාරිභෝගිකයිනට තමනට රිසි පරිදි, තමන් කැමති වර්ගයේ රන් ආභාරන මිලදී ගැනීමේ හැකියාව පවතී. එසේම රන් භාණ්ඩ වලට අමතරව සුදු රත්‍රන් හෙවත් ප්ලටිනම්, රෝස රත්‍රන්, දම් හෙවත් පර්පල් රත්‍රන්, රිදී, දියමන්ති හා රන් ආලේපිත ආභරණද මිලදී ගැනීමේ හැකියාව ඇත. කුඩා කරාබු යුගලයේ සිට සියලු ආකාරයේ රන් ආභරණ මෙහි විකිනීමට තබා ඇත. එසේම රත්‍රන් වලින් සැකසූ හැට්ට, තොප්පි වැනි ඇඳුම්ද මෙහි විකිනීමට තබා තිබෙන බව පැවසුවහොත් ඔබ විශ්වාස නොකරන්නටත් ඉඩ ඇත.

ඉතා ඉහල මට්ටමේ ආරක්ෂාකාරී පරිසරයක් තුල පිහිටා ඇති මෙම ප්‍රදේශය, දිවා රාත්‍රී දෙකෙහි දැඩි රැකවරණ මධ්‍යයේ පවතී. එසේම මෙහිදී දැකිය හැකි සුවිශේෂත්වයක් වන්නේ මේ බොහෝ සාප්පු වල මිල ගණන් බොහෝ විට සමාන වීමයි. පාරිභෝගිකයින්ගේ දැනුවත් භාවය සඳහා දිනපතා කැරට් 22 හා 24 රන් මිල ගණන් මෙහි යනෙන මග පිහිටුවා ඇති ප්‍රධර්ශන පුවරු වල සටහන් කොට ඇත. දින පතාම දහස් ගණන් පාරිභෝගිකයින් පිරිසක් මෙහි ගනුදෙනු වල යෙදෙන අතර, ඩිරාම් මිලියන ගණනක ගනුදෙනු මෙහිදී එක දිනකදී සිදුවේ. එසේම කොතරම් දියුණු හා මහා පරිමාණ ගොඩනැගිලි දිනපතා ඩුබායිහි ගොඩනැගුණද, තවමත් මේ ගෝල්ඩ් සුකය තුල පැරණි බව සුරැකෙන අයුරින් සංරක්ෂණය කර ඇත. ලී වලින් සැදුනු ආරුක්කු ආකාරයේ මංපෙත දිගේ යනවිට එහි පෞරාණික බව මනාව ඉස්මතුවී ඇත. සමහර ගණනය කිරීම් වලට අනුව දිනයේ ඕනෑම වේලාවක ටොන් 10 ක පමණ රන් සංචිතයක් මෙහි රැඳී තිබෙන බව සොයාගෙන ඇත. එසේම ලෝකයේ රත්‍රන් අලෙවියෙන් සියයට විස්සක් (20%) මේ ගෝල්ඩ් සුකය හරහා සිදු වන බවද පැවසේ. ඒ අනුව දිනපතා මෙහි අලෙවි වන රන් ප්‍රමාණය ගැන දළ අදහසක් ඔබට ලබා ගත හැකි වනු ඇත.

ලොව නන් දෙසින් පැමිණෙන දහස් ගණන් පිරිස් දිනපතාම මෙහි ඇදී එන බව මිට ඉහත සඳහන් කල බව ඔබට මතක ඇත. ඔබ මෙහි ගියහොත් දෑස් අයා රන් ආභරණ දෙස බලා හිඳිනා රූබර ලඳුන් බොහෝ පිරිසක් ඔබට දැක ගත හැක. ඉතා රූමත් මොවුන් දුටු කල මට මතක් වුයේ ගුත්තිලයේ සඳහන් වූ කවි පදයකි. "ඇසි පිය හෙලන පමණින් නොවෙති දෙවඟන" යනුවෙන් එහි සඳහන් වේ. ඒ අනුව ලොව විවිධ රටවලින් පැමිණෙන දෙවඟනන් වැනි මේ රූබර ලඳුන් අතරින්, නියම මිනිස් දූවරුන් වෙන් කර හඳුනා ගැනීමට අවශ්‍ය නම්, රත්‍රන් බඩු දෙස බලා සිටින අතරේ ඔවුන් ඇසි පිය ගසන්නේදැයි බලන්න. ඒ අනුව ඔබට ඔවුන් වෙන් කර හඳුනා ගත හැකි වනු ඇත.