Monday, April 16, 2018

ඩුබායි ෆ්‍රේම් (Dubai Frame)

Dubai Frame (ඩුබායි ෆ්‍රේම්)

ඩුබායිහි විවිධ ස්ථාන ගැන ඉදිරිපත් කරන ලිපිපෙළ යටතේ, අද දිනයේ මා විසින් සටහන් තබීමට උත්සාහගන්නේ, මෑතකදී විවෘත කරන ලද ඩුබායි ෆ්‍රේම් (Dubai Frame) නමින් හඳුන්වන විශේෂිත වූ ගොඩනැගිල්ල පිළිබඳවයි. 2009 වර්ෂයේදී ලොව පුරා සිටි ගෘහ නිර්මාණ ශිල්පින් හා ආයතන 926 වෙතින් ඉදිරිපත් වූ සැලසුම් අතරෙන්, මෙම සුවිශේෂ වූ ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා වූ සැලසුම් යෝජනාව පිළිගෙන තිබෙනවා. මෙම සැලසුම් ඉදිරිපත් කල පිරිස අතර, ලොව පුරා කීර්තිමත්ම සැලසුම් ශිල්පින් රාශියක් සිටීම විශේෂත්වයක්. සිය ගණනක් වූ මේ නිර්මාණ ශිල්පීන් විසින් ඉදිරිපත් කල සැලසුම් යෝජනා වල තරඟයකින් පසු, ප්‍රථම ස්ථානය දිනා ගත් Fernando Donis නමැති ශිල්පියාගේ මෙම සැලසුම, අවසානයේදී ක්‍රියාවට නගා තිබෙනවා. මෙම සැලසුම වෙනුවෙන් ඔහුට හිමිවූ ත්‍යාග මුදල ඇමරිකානු ඩොලර් ලක්ෂයක් හෙවත් ඩිරාම් තුන්ලක්ෂ හැටහත් දහස් දෙසීය පනස් එකක් වනවා.




ඩුබායි ෆ්‍රේම් යනු එකිනෙකට සමාන්තරව ඉදි කෙරුණු, මීටර් 150 උසකින් යුතු කුළුණු දෙකකින් සමන්විතය ගොඩනැගිල්ලක්. මීටර් 105 පළලකින් යුතුව ඉදිකර ඇති මෙම කුළුණු දෙකෙහි ඉහල කොටස් දෙක තවත් ඒ හා සමාන තිරස් කුළුණකින් සම්බන්ධ වී තිබෙනවා. ඒ අනුව බලන විට මෙය චායාරූප රාමුවකට (Picture Frame) සමාන පෙනුමක් ගෙනදෙනවා. මෙහි ඉහල තිරස් කුලුන නැරඹුම් මැදිරියක් (observation deck) වශයෙන් වීදුරු වලින් සකස් කොට ඇති අතර, එහි සිට බලන පුද්ගලයෙකුට මුළු ඩුබායි එමිරේටයම ඉතා චමත්කාරව දැක ගැනීමේ හැකියාව පවතිනවා. මෙම සමස්ත ගොඩනැගිල්ලම සකසා තිබෙන්නේ වීදුරු, යකඩ, ඇලුමිනියම් සහ කොන්ක්‍රීට් වලිනුයි. මෙම ගොඩනැගිල්ල ඉදිකිරිම සඳහා වූ වියදම එක්සත් අරාබි ඩිරාම් ලක්ෂ 1200 හෙවත් ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 50,400 පමණ වනවා.

මෙම සුවිශේෂ ගොඩනැගිල්ල ඉදිකර තිබෙන්නේ, ඩුබායිහි කරාමා නමැති නගරයේ පිහිටි සබිල් පාර්ක්‌ (Zabeel Park) නමැති සුවිශාල උද්‍යානය තුලයි. එම ස්ථානයේ මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමටද විශේෂ හේතුවක් පවතිනවා. ඒ මේ ගොඩනැගිල්ල දෙපස පැරණි නැතහොත් මුල් කාලයේ ජනාකිර්නව පැවති ඩුබායිහි නාගරික ප්‍රදේශය හා, වර්තමානයේ සුවිශාල දියුණුවකට ලක්වී ඇති ඩුබායිහි නවීන නගර පිහිටි ප්‍රදේශය, මෙම ගොඩනැගිල්ල දෙපස පිහිටා තිබීමයි. ඒ අනුව මෙම ගොඩනැගිල්ලෙහි ඉහල නැරඹුම් මහලෙහි සිට බලන අයෙකුට, මේ ප්‍රදේශ දෙකම එකවර නැරඹීමේ පහසුකම් හිමිවනවා. දෙපස පිහිටි සමාන්තර කුළුණු දෙකෙහි වූ අධිවේගී විදුලි සෝපාන හරහා මෙහි තිරස් කුලුන වෙත පහසුවෙන් ලඟා විය හැකි අතර, එම තිරස් කුලුනෙහි නැරඹුම් මැදිරියට අමතරව ආපන ශාලාවක් (Terrace Cafe) පිහිටුවා ඇති අතර, භූගත වාහන අංගනයකින්ද, පුස්තකාලයකින් හා තොරතුරු මධ්‍යස්ථානයකින් මෙම ගොඩනැගිල්ල සමන්විත වනවා. 

අද වනවිට මෙය සංචාරක ආකර්ෂණය දිනාගත්, බෙහෙවින් කාර්යබහුල ස්ථානයක් බවට පත් වී තිබෙනවා. දිනෙන් දින දියුණු වන, එකිනෙකට වෙනස් ලොව නවීනතම ඉදිකිරීම් එළිදක්වන ඩුබායිහි, මෙය තවත් එක් ඉදිකිරීමක් පමණයි.