Monday, September 12, 2016

<Fujairah> (Part 4)    <ෆුජෙයිරා> (4 කොටස)


පෙරදින රාත්‍රියේ ඉතා සුව පහසුවට නිදා ගත් අප, පසුදා ඇහැරුනේ තවත් ගමනක් යාම සඳහාය. එහෙත් කාමරයේ ජනේලයෙන් ඉවත බැලූවිට දුටුවේ දුර ප්‍රදේශවල යම් පමණකට දුහුවිලි නැගී එන බවකි. තවමත් දේශගුණය සම්පුර්ණයෙන් වෙනස් වී නොතිබුණු හෙයින් මෙම කාලයේ, බොහෝ විට වැලි කුනාටු හෙවත් දුහුවිලි කුනාටු දැකිය හැක. එසැනින්ම අන්තර්ජාලයෙන් පරික්ෂා කල විට දැන ගත හැකි වුයේ, මෙරට තුල බොහෝ තැන්වල දුහුවිලි සහිත පරිසරයක් පවතින බවයි. එහෙයින්, අකමැත්තෙන් හෝ යෑමට බලාපොරොත්තු වූ සමහර ස්ථාන අතහැර දැමීමට අපට සිදු විය. එනිසා හෝටලය අවට, යාහැකි දුරක පවතින ස්ථාන නැරඹීමට අපි තීරණය කළෙමු. හෝටලයෙන්ම උදෑසන ආහාර ලබා ගත් අප, පිටත් වුයේ 'කල්බා' වෙතයි.

'කල්බා' යනු ෆුජෙරා වල පවතින තවත් කුඩා නගරයකි. මින් පෙර මා පැවසු පරිදි ෆුජෙරා වල, ඩුබායි වල මෙන් ඉතා විශාල ගොඩනැගිලි ඇත්තේ ඉතා අඩුවෙනි. හෝටලයේ සිට කල්බා බලා යන අතරේ නගරයේ තැනින් තැන තොරතුරු චායාරුපයට නගාගැනීමට මට හැකි විය. ඒ අතරින් දුටු විශේෂිත සටහන වුයේ, වටරවුමක නිර්මාණය කරතිබූ ගුරුලේත්තුවක නැතහොත් තේ පෝච්චියක හැඩය ගත අනුරුවයි. (ඔමානයේදීත් බොහෝ තැන්වල මෙවැනිම අනුරු දැකිය හැක.) කෙසේ වුවද අරාබි ජාතිකයින්ගේ සුවිශේෂ වූ සංකේතයක් ලෙස මෙම ගුරුලේත්තුව නැතහොත් තේ පෝච්චිය හඳුන්වා දිය හැක.

මග දිගේ ඉදිරයට ඇදී ගිය අපි මුලින්ම කල්බා විවෘත මුහුදු වෙරල (open beach) වෙත ගියෙමු. ඒ මුහුදු දියේ බැස ස්නානය කිරීමේ අරමුණෙනි. එහෙත් එම ස්ථානය නෑමට සුදුසු පරිදි සකස් කල එකක් නොවුයෙන්, අපගේ අදහස වෙනස් කර ගතිමු. ඉන් අනතුරුව එතනින් පිටත් වී ඉදිරියට ගිය අප, ෆුජෙරා මධ්‍යම වෙළඳ පල වෙත ගියෙමු. එහෙත් ඇත්තටම එය ඉතා කුඩා වෙළඳ පලක් විය. ඩුබායි හි මහා විශාල වෙළඳ පළවල් දැක ඇති අපට, එය කුඩා කඩ මන්ඩියක් පමණක් විය. එහෙත් සමහර එළවලු හා පලතුරු වර්ග ඩුබායි වලට සාපේක්ෂව මිලෙන් අඩු විය. එනිසාම එහිදී එළවලු හා පලතුරු මිලදී ගැනීමටද අපි අමතක නොකළෙමු. අපගේ ප්‍රියතම පළතුරක් වූ 'රඹුටන්', එහිදී අප මිලදී ගත්, අපට සතුට ගෙන දුන් විශේෂ කෑමක් විය.

ඉන් අනතුරුව අප කල්බාවල පිහිටි විශාලතම උද්‍යානය (park) වෙත පියනැගුවේ, එහිදී හෝ මුහුදේ නෑමට හැකිවෙනු ඇතැයි යන සිතුවිල්ලෙනි. මාර්ගය අයිනේම පිහිටා තිබු එම උද්‍යානය, අනෙක් පසින් සුන්දර මුහුදු තිරය වෙත සම්බන්ධ වී තිබුණි. එහි ඇතුළුවන දොරටුවේ සිට ඉතා අලංකාර ලෙස මල් වවා තිබුනු අතර, තනකොලද, අනෙකුත් ගහකොලද මනාව කප්පාදු කර අලංකාර කොට තිබුණි. කාන්තාර රටක් යයි කිව නොහැකි පරිද්දෙන් ඒ සියල්ල සකසා තිබුණු අතර, යායට දිවෙන නිල්වන් තණ නිල්ල දෙපයට ගෙන දුන්නේ අගනා සුවයකි. එසේම මල් පිපි තිබුණු ගස් වැල් විවිධ වර්ණයෙන් මුළු උද්‍යානයම හැඩ කොට තිබුණි. දහවල් කාලය වුවද, බොහෝ දෙනෙකු එහි රැස් වී සිටි අතර, බොහෝ දෙනෙකු එම ගස් වැල් වලට පිටුපා චායාරුප ගනු දක්නට ලැබුණි. එසේම මස් පිළිස්සීමේ කටයුතු (barbecue / BBQ) සඳහා වෙන් කොට තිබෙන ස්ථාන වල, දිවා ආහාරය සඳහා මස් සකසමින් සිටින පිරිස්ද දැකගත හැකිවිය. කෙසේ වුවද, මුහුදු වතුරේ ගිලී ස්නානය කිරීමේ අපේ අභිලාශය ගිලිහී ගියේ එම ස්ථානයේද එවැන්නකට ඉඩ නොතිබූ හෙයිනි. එනිසාම ටික වෙලාවක් එහි රැඳී සිට අප ආපසු හෝටලය වෙත යාමට සිතුවේ, එහි ගොස් නාන තටාකයට බැස හිතේ හැටියට නා ගැනීමේ අරමුණෙනි.

නැවත හෝටලයට පැමිණි අප දිවා ආහාරය ගෙන මඳ වෙලාවක් සුවසේ ගත කලේ, නාන තටාකයට පිය නැගීමට ප්‍රථමය. ඉන්පසු ඇඳුම් මාරු කරගෙන හෝටලයේ ඉහලම මහලේ පිහිටි පිහිනුම් තටාකය පිහිටි කොටසට ඇතුළු වීමු. එහි යාමට මත්තෙන් තමතමන් කැමති පරිදි උණුසුමෙන් හෝ වාෂ්පයෙන් (sauna or steam) සිරුර සතපවා ගැනීමටද අප අමතක නොකළෙමු. ඉන් අනතුරුව නාන තටාකය අද්දර වූ පුටු මතට වී මොහොතක් ගත කල අප නාන තටාකයට බැස්සේ හිතේ හැටියට නා ගැනීමේ අරමුණෙනි. මගේ මිතුරෙකුගේ සිඟිති පුතු ළමා නාන තටාකයේ සතුට විඳින අතර, අනෙක් අය විශාල තටාකයේ නාමින් හා කෙලි දෙලෙහි යෙදෙමින් සතුටු වීමු. පැය කිහිපයක් එහි ගතකල අපි ඉන් පිටවී කාමරයට පැමිණ උණුසුම් තේ / කෝපි වල රස වින්දේ, සතුට හා සුවය උපරිමයට ලබා ගනිමිනි.

සවස් වරුව ගෙවී රාත්‍රිය උදා වන විට, නැවතත් හෝටලයෙන් පිට වී නගරය වෙත ගියෙමු. ඒ නැවත වරක් අවශ්‍ය දේ මිලදී ගැනීම සඳහාය. එහිදීද ඇඳුම්, පැළඳුම්, සපත්තු, සෙරෙප්පු මෙන්ම තව බොහෝ දේ මිලදී ගැනීමට හැකි විය. ඒ යන අතර මගදීද නැවත වරක් අවසාන වරට නගරයේ සිරි නැරඹුවේ, හෙට දිනයේ අප මේ නගරයෙන් පිටවී යන හෙයිනි. එහිදීද නගරයේ එක කොනක පිහිටා තිබු විශාල සාප්පු සංකීර්ණයක් (shopping mall) වෙත ගිය අප, අපගේ මිලදී ගැනීම් නිමාවට පත් කළේය. මෙහිදී දැකිය හැකි වූ විශේෂ සිදුවීමක් වුයේ එහි කුඩා දරුවන් වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් සුදානම් කර තිබීමයි. එහිදී කුඩා දරුවන්ගේ සතුට වෙනුවෙන් මොනරෙකුද ප්‍රදර්ශනය සඳහා තබා තිබුණි. ඉන් පිටවී එන අතරේ නගරයේ වූ පිලිස්සු මස් (mixed grilled food) රාත්‍රී ආහාරය සඳහා ඇනවුම් කර, අපගේ හෝටලය වෙත ගෙනවිත් දෙන ලෙස ඉල්ලා සිටියෙමු. නිසි පරිදිම, කදිමට සකස් කල, ඉතා ප්‍රනීත රාත්‍රී ආහාරයක් ඊට විනාඩි තිහකට පමණ පසුව ඔවුන් අපගේ හෝටලයටම ගෙනවිත් දුන්නේය. කුඩා මධුවිතකින්ද සප්පායම් වී සිටි අපි, එය අවසානයේ ආහාර අනුභව කොට නින්දට ගියෙමු.




පසුදින උදෑසනින්ම නැගිට හොඳින් නාගෙන සුදානම් වුයේ හෝටලයෙන් පිටත් වීමටය. කෙසේ වුවද, පිටවීමේ කාලයට තවත් හෝරා කිහිපයක් තිබු බැවින් කාමරයට වී රුපවාහිනිය නරඹමින් කාලය ගත කළෙමු. උදෑසන ආහාරය හෝටලයෙන්ම ගත් අප, දහවල් 12ට පමණ, සියලු ලියකියවිලි හා ඇතුළුවීමේ පත් භාරදී හෝටලයෙන් පිටතට පැමිණියේය. හිරුගේ උණුසුමින් අවට පරිසරය මදින් මද උණුසුම් වෙමින් පැවතුනි. අප ෆුජේරා නගරය දෙස අවසන් වරටත් දෙනයන යොමා ඉන් පිටත් වුයේ, නැවතත් ඩුබායි බලා පැමිණීමේ අරමුණෙනි.
(කල්බා වල දුටු අලංකාර උද්‍යානයේ වීඩියෝ දර්ශනයක් මෙහි ඇතුලත් වේ. චායාරුප වෙනමම පලකරමි)

<Fujairah> (Part 3)    <ෆුජෙයිරා> (3 කොටස)


අප ෆුජේරා වෙත ලඟා වන විට ප.ව. 2 පසුවී තිබුණි. එනිසාමදෝ තරමක බඩගින්නකින් අප සියලු දෙනා පෙළෙන්නට විය. ඩුබායි වල නම් අඩියෙන් අඩියට රෙස්ටුරන්ට් හෝ කැෆටේරියා තිබුනද, ෆුජෙරා වල තත්වය ඊට හාත්පසින්ම වෙනස් විය. නගරය ආරම්භක සිමාවේ සිට කි.මීටරයක් පමණ ගියද අපට හොඳ තත්වයේ රෙස්ටුරන්ට් එකක් දැක ගත නොහැකි විය. එක් වරම මාර්ගය පසෙක වූ අවන්හලක් දුටු අප, දෙවරක් නොසිතාම ඊට ගොඩ වීමු. එය ඉරානියානු (Iran) රෙස්ටුරන්ට් එකකි. එසේ වුවද ඉන්දියානු ක්‍රමයට මෙන්ම, චීන හා අරාබි ක්‍රමයට සකසන ආහාර වට්ටෝරුද එහි තිබුණි. අපි ඉන්දියානු ක්‍රමයට සැකසු කුකුළු හා එළු මස් බිරියානි ඇනවුම් කළෙමු. මිලෙන් තරමක් වැඩි වුවද, ආහාර ඉතාම ප්‍රනීත විය. කුසගිනි මතුව සිටි අපට, නිසැකවම එය ඉතා රසවත් විය. ආහාර ගැනීමෙන් අනතුරුව අපට අවැසි වුයේ ඉක්මනින්ම හෝටලයට ගොස් මදක් විවේක ගැනීමටය. වායුසමනය සහිත සුවපහසු වාහනයක ගමන් කලද, කි.මී. සිය ගණනක් ගමන් කල විඩාව අප සැමට තිබුණි. අප ආහාර ගත් තැනට, හෝටලය පෙනෙන දුරින් විය. එනිසාම විනාඩි කිහිපයකින් අප එහි ලඟා වීමු.

එය ඉතා සුඛෝපභෝගී තරු හතරේ හෝටලයක් විය. දෙවන මහලේ පිහිටි රථවාහන අංගනයේ රථය නැවතූ අප, බඩු භාණ්ඩ එහිම තබා පළමුවෙන්ම පිළිගැනීමේ කවුන්ටරය වෙත පා නැගුවෙමු. ඉතා සුහද ලෙස අප පිළිගත් කාර්ය මණ්ඩලය අපගේ කාමර වෙන්කිරීම් පරික්ෂා කර බලන්නට විය. ඉතා අලංකාර ලෙස සැකසූ නවීන ක්‍රමයේ දිය ඇල්ලක්ද, මනා ලෙස අසුන්ගත කල ලොබියක්ද එහි විය. විදුලි ආලෝකය මෙන්ම අනෙකුත් සැරසිලිද සිත් ගන්නා සුළු විය. මහල් 22 කින් සමන්විත හෝටලයේ ඉහල මහලක් අප ඉල්ලා සිටියේ, මනා සුන්දරත්වයක් විඳීමේ අරමුණෙනි. අපගේ ඉල්ලීම ඉටු විය.

කාමර සඳහා ඇතුළුවීමේ පත් (access cards) ලබා ගත් අපි, අපගේ බඩු බාහිරාදිය රැගෙන සෝපානය හරහා කාමර වෙත පිය නැගුවෙමු. ඒවා ඉතා අලංකාර කාමර විය. තරු හතරේ හෝටලයකට ගැලපෙන අයුරින්ම, සියලු අංගෝපාංගයන්ගෙන් ඒවා සමන්විත විය. ලියන කඩදාසියේ සිට කුඩා ශීතකරණය දක්වා සියලු අවශ්‍යතා එහි සපුරා තිබුණි. එසේම නාන කාමරද ඉතා පිරිසිදු හා සියලු අංගයන්ගෙන් පරිපුර්ණ විය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තරු පන්තියේ හෝටලයක අවශ්‍යතා එහි සපුරා තිබුණි.

මඳ වේලාවක් කාමර වලට වී විවේක ගත් අප, නා ගැනීමෙන් අනතුරුව ඊළඟට සුදානම් වුයේ නගරයේ සිරි නැරඹීමට යාමටයි. ඊට අමතරව තවත් විශේෂ අවශ්‍යතාවක්ද විය. එනම්, රාත්‍රිය වඩා සතුටින් ගත කිරීම සඳහා 'මධුවිතක්' සොයා ගැනීමයි. ඩුබායිහි නම්, මත්පැන් මිලදී ගැනීම සඳහා බලපත්‍රයක් තිබිය යුතුය. රැකියාව සහ වැටුපට අනුව මෙන්ම, රැකියා ආයතනයෙන් ලබා දෙන නිර්දේශ මත පුද්ගලයෙකුට ලබා ගත හැකි මත්පැන් බෝතල ගණන සිමාවේ. සුළු රැකියාවල නිරත වන අයට මේ වරප්‍රසාදය නොලැබෙන අතර, ඔවුන් ඒවා සපයා ගන්නේ හොරෙන් ඒවා විකුණන පුද්ගලයන්ගෙනි. කෙසේ වුවද, මුස්ලිම් රටක් වශයෙන් මෙවැනි හෝ වරප්‍රසාදයක් ලබා දී තිබීම ගැන අප මෙම පාලකයිනට ස්තූතිවන්ත විය යුතුය. හෝටලයේ ක්ලබ් එකක් පැවතියද එහි ගියහොත් අපගේ නිදහස ඇහිරෙන බැවින් අපට අවශ්‍ය වුයේ, අපගේ කාමර වලම සිට 'මද පමණින් සප්පායම් වීමටය.' කෙසේ වුවද ෆුජේරා වලද මත්පැන් සඳහා කිසිදු සීමාවක් නොවිය. එහි මිලදී ගන්නා මත්පැන් සඳහා සීමාවක් හෝ බලපත්‍ර අවශ්‍යතාවයක් නොවිය. එහෙත් එම එමිරේටයෙන් පිටත ගෙනයාම කල නොහැක. මෙවැනිම තත්වයක් අජ්මාන්, රසල් කයිමා මෙන්ම උමල් කුවේන් වලදීද දැකිය හැක. විවිධ වර්ගයේ මත්පැන් වලින් සමන්විත අලෙවිහල් වල ඒවා අසුරා ඇති අයුරු ඉතා ආකර්ශනියය. බියර් කෑනයේ සිට විස්කි, බ්‍රැන්ඩි, වොඩ්කා, ටිකිලා, බකාඩි,රම්, ජින්, ශම්පේන්, වයින් ඇතුළු මෙකී නොකී විවිධ වර්ගයේ, විවිධ රටවල නිපදවන ලාභ මෙන්ම ඉතා මිල අධික බොහෝ මත්පැන් වර්ග එහි විකිනීමට ඇත. (කෙසේ වුවද එහි චායාරුප ගැනීම හෝ වීඩියෝ කිරීම තහනම් නිසා මෙහි දැක්වීමට ඉඩක් නොමැත.) අපි, අපට අවශ්‍ය දේ මිලදී ගෙන ඉන් පිටවිමු.

අනතුරුව අප ගියේ සාප්පු සවාරියේය. ඩුබායි වලට සාපේක්ෂව ඇඳුම් පැළඳුම් ඇතුළු බොහෝ දේ ඉතා අඩුවට මිලදී ගැනීමට මෙහිදී හැකි විය. සාප්පු වල බොහෝ විට පිරි සිටියේ අරාබි ජාතිකයින්ය. ඩුබායි වල මෙන් විවිධ ජාතිකයින් දැකීම තරමක් දුර්ලභ විය. ෆුජේරා, ඕමානයට ආසන්න එමිරෙටයක් නිසා, වැඩිපුරම දැකිය හැකි වුයේ, ඔමානයෙන් පැමිණ මෙහි පදිංචි වූ ඕමාන ජාතිකයින්ය. අපි, පසු දිනයේ යලිදු සාප්පු සවාරියේ යෙදෙන අරමුණින් අවශ්‍යම දේ පමණක් මිලදී ගෙන ඒ ප්‍රදේශයෙන් පිටත් වීමු. ඉන් අනතුරුව අප ගියේ විශාල සාප්පු සන්කිර්නයකටය. එහි වූ ආපන ශාලා අංශයෙන් (Food court) කටගැස්ම මෙන්ම, රාත්‍රී ආහාරය සඳහා වූ දේ මිලදී ගෙන යලිදු හෝටලය බලා පිටත් වීමු.

දහවලට සාපේක්ෂව, රාත්‍රී කාලයේ පාරවල් මඳක් කාර්යබහුල වී තිබුණි. තවද සිකුරාදා දිනය වූ නිසාම බොහෝ දෙනා මිලදී ගැනීම් සඳහා නගරයට පැමිණ සිටියහ. කඩසාප්පු වල ආලෝකයෙන් මාර්ගය ආලෝකමත් වී තිබු අතර, බොහෝ දෙනා ඒවාට ගොඩවී සිටින අයුරුද දැකගත හැකි විය. ෆුජෙරා වල ගුවන් තොටුපලක්ද පවතී. එහෙත් එය ජාත්‍යන්තර ගුවන් තොටුපලක් නොවේ. සවස් වරුවේ නගරයේ ගමන් කරන විටත්, හෝටලයේ අපේ කාමර වලටත් එහි ගුවන් යානා කිහිපයක් නවතා තිබෙනු දැකිය හැකි විය. එහෙත් අප එහි සිටි කාලය පුරාවටම යානයක් ගුවන් ගතවීමක් හෝ පැමිණීමක් දැකිය නොහැකි විය. මුහුදුට ආසන්න නිසා වරින් වර සිසිල් සුළඟක් ප්‍රදේශය හරහා හමා ගියේ ගතට සිසිලක් නංවමිනි. හෝටලයට පැමිණ එහි ජනේල විදුරු තුලින් පිටත බැලුවිට දුටු දර්ශනය ඉතා සිත් ගත්තේය. විදුලි ආලෝකයෙන් ආලෝකමත් වූ නගරය ඉහලක සිට බැලීමේදී ඉතා මනරම්ව දිස්විය. සිත්සේ සතුටු වූ අප රාත්‍රී ආහාරයෙන් පසු නින්දට ගියේ ඉතා සතුටු සිතිනි.

(ඉතිරි කොටස පසුවට......)



(Fujeirah නගරයේ හා මුහුදු තිරයේ කොටසක් මේ වීඩියෝවේ දැකිය හැක. එම හෝටලයේ හා නගරයේ චායාරුප කිහිපයක් වෙනම පලකරමි.)

<Fujairah> (Part 2)    <ෆුජෙයිරා> (2 කොටස)


අප ෆුජේරා බලා යාමට පිටත් වුයේ සිකුරාදා දිනකය. සිකුරාදා දිනය, එ. අ. එ. රාජ්‍යයේ නිවාඩු දිනයක් බැවින් දහවල් වරුවේ පාරවල් වල එතරම් දැඩි වාහන තදබදයක් නොපවතී. එහෙත් සවස් වරුවේ නම් දක්නට ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් තත්වයකි. කෙසේ වුවද අපට හෝටලයට ඇතුළු වීමට තිබුනේ දහවල් 2 පසුවී බැවින්, දහවල් 12.30 ට පමණ බර් ඩුබායි (Bur Dubai) හි අප වෙසෙන පෙදෙසින් පිටත් වීමු. තවමත් ග්‍රීෂ්ම ඍතුව ආරම්භයේ බැවින් දහවල් කාලයේ එතරම් දැඩි හිරු රශ්මියක් පවතින්නේ නැත. කෙසේ වුවද ෆුජෙරා බලා යන අතරමගදී වාහනයට අවශ්‍ය ඉන්ධනද ලබාගෙන, ඉන්ධන හලෙහිම වූ අවන් හලෙන් කෝපි පානය කර ගමන පිටත් වීමු.

අනෙක් එමිරේට මෙන්ම ෆුජේරාද පාලනය කරනුයේ ෂේක් වරයෙකු විසිනි. එක් එක් එමිරේට සඳහා වෙන වෙනම ෂේක් වරු සිටින අතර, ඔවුන් හත් දෙනාගෙන් සමන්විත වූ උත්තරීතර මණ්ඩලයක් (Federal Supreme Council) මගින් මුළු රටටම අදාළ තීරණ ගනු ලැබේ. ෆුජෙරාහි භුමි ප්‍රමාණය වර්ග කි.මී. 1,166 කි. එය එ.අ.එ. රාජ්‍යයේ පස්වන විශාලතම එමිරේටය වන අතර, මුළු රටෙහි භූමියෙන් 1.5% ක් පමණ වේ. වර්ෂ 2009 ජනගහණය 152,000 පමණ වූ අතර, ඊට වඩා අඩු ජනගහනයක් සිට ඇත්තේ උම් අල් කුවේන් වල පමණි. ඩුබායි, අබුඩාබි බටහිර වෙරල තිරයට ආසන්නව පිහිටි එමිරේට වේ. එසේම එහි භූමියෙන් වැඩි හරියක් කාන්තාර වේ. එහෙත් ෆුජේරා යනු සම්පුර්ණයෙන්ම පාහේ කඳුවලින් සමන්විත වූ එමිරේටයකි. එලෙස වැඩියෙන්ම කඳු වලින් සමන්විත එමිරේටය ෆුජේරා වන අතර, අනෙක් ප්‍රදේශ වලට සාපේක්ෂව වසරක් තුල වැඩිම වර්ශාපතනයක් ලැබෙන ප්‍රදේශයද වේ.

(මෙරටෙහි සිටින ශ්‍රී ලාංකිකයිනට නම් මෙම තොරතුරු එතරම් නොවැදගත් විය හැක. එහෙත් කිසිදු දිනක කාන්තාරයක් දෑසින් දැක නැති ශ්‍රී ලාංකිකයිනට මේ තොරතුරු වැදගත් වනු ඇතැයි විශ්වාස කරමි. මේ සටහන තබනුයේද ඔවුනගේ දැනගැනීම වෙනුවෙනි. මැද පෙරදිග රටකට පැමිණීමට පෙර මමද කාන්තාරයක් සියැසින් දැක තිබුනේ නැත. මා මුල් වරට කාන්තාරයක් දුටුවේ, සෞදි අරාබියේ සේවය සඳහා 2001 වසරේදී පිටත්ව යන අතරේදී කටාර් රාජ්‍යයට ගුවන් යානය ගොඩබාන අවස්තාවේදීය. මා හට ඒ මොහොතේ සිහි වුයේ පාසලේදී සමාජ අධ්‍යයනයට හා භුගෝලයට කාන්තාර භූ ලක්ෂණ ඉගෙන ගත් අයුරුය. ශේෂ කඳු, වැලි වැටි, කුරු ගස්, කටු පඳුරු, ක්ෂේම භුමි මාගේ දෙනෙතින් දුටු පළමු වතාව එය විය.)

කෝපි පානය කර ඉන්ධන හලෙන් පිටත් වූ අප ඩුබායි - ෆුජේරා අධිවේගී මග දිගේ ඉදිරියට ඇදුනේ මග දෙපස විසිතුරු නරඹමිනි. (මිට ප්‍රථම මා පල කල චායාරූප වලින් ඔබටද ඒවා දැක ගත හැක.) කෙසේ වුවද පැය එකහමාරකටත් ප්‍රථම අපට ෆුජෙරා වෙත ලඟා විය හැකි විය. ඩුබායි හි අවුරුදු කිහිපයක් වාසය කලද, නිවාඩුවක් සඳහා අප සැම ෆුජේරා වෙත පැමිණි පළමු වතාව එය විය. එසේම ඩුබායි හි උස් ගොඩනැගිලි, කලබලකාරී පරිසරය, මිනිසුන් බහුල මාවත් දැක තිබු අපට ෆුජේරා යම් වෙනසක් ගෙන දුනි. මෙහි ඩුබායි වල මෙන් දැඩි කාර්ය බහුල බවක් නොවිය. එසේම බොහෝ උස්වූ ගොඩනැගිලිද නොවීය. නගරයට ඇතුළු වන මායිමේ පිහිටා තිබු කොඩි කණුවෙහි වූ ධජය මද සුළඟට වැනුණේ, එහි පිවිසෙන අපට අත වනන්නාක් මෙනි. කෙසේ වුවද බොහෝ සංචාරකයින් මෙහි පැමිණෙන නිසාමදෝ, නගරය තුල සංචාරක හෝටල් බොහොමයක් දැක ගත හැකි විය. මහල් 15-20 ටත් වඩා උස තරු 4-5 මෙවැනි හෝටල් බොහොමයක් නගරයට ඇතුළු වන තැන සිට විසිරී පැවතුනි. මේ වන විට අප සැවොම සිටියේ කුසගින්න දැඩි වී පැවති මොහොතකය. දුටු පලමුම ආපන ශාලාව (restaurant) වෙත ගොස් බිරියානි හා අනෙකුත් ආහාර පාන ඇනවුම් කලේ ඒ කුසගින්න හැකි ඉක්මනින් නිවා ගැනීමේ අරමුණෙනි. (ඉතිරි කොටස පසුවට )



(බොහෝ දෙනෙකු දැක නැති කාන්තාරයක වීඩියෝවක් මේ සමග පළවේ.)

<Fujairah>  (Part 1)   <ෆුජෙයිරා> (1 කොටස)


(මේ මාගේ උපන් දිනය වෙනුවෙන්, අප ෆුජේරා වල කල සංචාරයක් පිලිබඳ ලියවුනු සටහනකි.)

මෙවර මාගේ උපන් දිනය වෙනුවෙන්, විනෝද වීම සඳහා අප ගියේ ෆුජේරා (Fujairah) වෙතයි. ෆුජේරා යනු එක්සත් අරාබි එමීර් රාජ්‍යය සෑදී ඇති එමිරේට හතෙන් එකකි. අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාජා (Sharjah), අජ්මාන් (Ajman), රසල් කයිමා (Ras Al Khaimah), උමල් කුවේන් (Umm Al Quwain)සහ ෆුජෙරා යනු එ.අ.එ. රාජ්‍යය සැදී ඇති එමිරේට හතයි. අබුඩාබි එහි අගනුවර මෙන්ම ප්‍රධාන නගරයයි. එහෙත් ආර්ථික මධ්‍යස්ථානයක් වශයෙන්ද, සංචාරක පාරාදීසයක් වශයෙන්ද, පහසුකම් හා අනෙකුත් සියලු සැප සම්පත් අතින්ද ඩුබායි, අනෙකුත් එමිරේට වලට වඩා බොහෝ ඉදිරියෙන් සිටිනවා. දිනපතාම ලොව පුරා රටවල්වලින් දහස් ගණන් ජනයා ඩුබායි වෙත පැමිණෙන්නේ මේ නිසාමයි. ඩුබායි යනු කාන්තාර රටක් වුවද, ලොව බොහෝ දියුණු යයි සම්මත රටවල පවා දක්නට නැති බොහෝ දේ, ඩුබායි වලදී දැකගත හැකියි. එනිසාම ඩුබායි බොහෝ කාර්ය බහුල තැනක් වී ඇති අතරම, පැය 24 පුරා අවදියෙන් පසුවන නගරයක් යයි පැවසුවහොත් එය වඩා නිවැරදියි.


කෙසේ වුවද මෙවර උපන් දිනය වඩාත් විවේකයෙන් ගත කිරීම සඳහාත්, අලුත් අත්දැකීමක් ලබා ගැනීම සඳහාත් අප ගියේ ෆුජේරා වෙතයි. ඩුබායිහි මා වෙසෙනා තැන සිට සිට ෆුජෙරා දක්වා ආසන්න වශයෙන් කි.මී. 160 පමණ පවතී. අනෙක් එමිරේට හා සසඳන කල ෆුජේරාහි එක්තරා විශේෂත්වයක් ඇත. අනෙක් එමිරේට සියල්ලම පිහිටා ඇත්තේ පර්සියානු මුහුදු තිරයට (Persian Gulf) මුහුණලා වුවද, ෆුජේරා පමණක් ඕමාන් මුහුදු තීරයට (Gulf of Oman) මුහුණලා පිහිටා ඇත. ඩුබායි සිට ෆුජේරා යන මාර්ගය වැටී ඇත්තේ කඳුකර මාර්ගයක් මැදිනි. ලංකාවේ මධ්‍යම කඳුකරය සිහි ගැන්වෙතත්, මෙහි ඇති එකම වෙනස වන්නේ, එම කඳුවල ගසක් දැකිය හැක්කේ ඉතා කලාතුරකින් වීමයි. ඉතා ශුෂ්ක දේශගුණයකට හැඩ ගැසී ඇති මෙම පරිසරය තුල කිසිදු විශාල පරිමාණයේ ගහ කොළ දැකිය නොහැක. එසේ වුවද තැනින් තැන වැඩුනු, පත්‍ර ඉතා සිහින් කුරු ගස් මෙන්ම, ඒවා කමින් ඉබාගාතේ ඇවිද යන ඔටුවන්, එළුවන් මෙන්ම බැටළුවන්ද ඉඳහිට දැක ගත හැක. එසේම තැනින් තැන අප ක්ෂේම භූමි ලෙස හඳුන්වන ඉතා සරුවට ගස් කොලන් වැඩුණු තැන්ද මේ මාර්ගය දිගේ යනවිට දැක ගත හැක. කෙසේ වුවද මාර්ගයේ ගමන් කරන විට දක්නට ලැබෙන කඳු වලින් වටවූ පරිසරය ඉතා ප්‍රියජනකය. විශේෂයෙන් බොරළු පොළවත්, විද්‍යානුකුලව, ආරක්ෂිතව නිසිපරිදි කපා සකස් කල කඳු පන්තියද අලුත් අත්දැකීමක් අපට ලබා දුනි.


ක්ෂේම භුමි පවතින තැන්වල රට ඉඳි ගස් ඉතා සරුවට වැඩි තිබෙනුද අපට දැකගත හැකි විය. එසේම ඒ ප්‍රදේශවල සත්ව පාලනයද පවත්වා ගෙන යනු පෙනුනි. විශේෂයෙන් මස් හා කිරි පිණිස සතුන් ඇති කිරීම මේ ප්‍රදේශවල බහුලව සිදු කෙරේ. මේ කඳු ප්‍රදේශ මැදින් වැටි ඇති අධි වේගී මාර්ගයද ඉතා උසස් මට්ටමක පවතී. ඩුබායි හි මාර්ග තරමටම ඉතා පිරිසිදුවත්, නියමිත ප්‍රමිතියටත් එය නිමකර ඇත. ප්‍රධාන මාර්ගයට ඉඳහිට සම්බන්ධ වන අතුරු මාර්ගද එලෙසම මනාව නිමවා ඇත. සතුන් ඇති කරන තැන් ආශ්‍රිතව සමහර තැනෙක වගාවන් පවත්වාගෙන යන අයුරුද අපට දැක ගත හැකි විය.




(ඒ ප්‍රදේශයේ දැකගත හැකි කාන්තාර දර්ශනවල හා කඳු පන්ති දිස්වන විනාඩි කිහිපයක කුඩා විඩියෝවක්ද මේ සමග ඇත. මේ ගමනට අදාළ තවත් තොරතුරු කිහිපයක් ඊළඟ සටහනෙහි පළවේ.)