Monday, October 31, 2016

<ලොව වැඩියෙන්ම අන්තර්ජාලය හා සම්බන්ධිත රටවල්>

<Most Connected Nations>


ඊයේ දිනයේ නිකුත් වූ අලුත්ම වාර්තාවකට අනුව, ලොව වැඩියෙන්ම අනතර්ජාලය හා සම්බන්ධවන මිනිසුන් සිටින රටවල් අතරින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට (ඩුබායිද ඇතුළුව) එහි "තුන්වන තැන" හිමිවී තිබෙනවා. ඒ අනුව මින් පෙර එයට ඉදිරියෙන් පැවති ලොව තවත් ප්‍රබලම රටවල් වන නෝර්වේ, ජර්මනිය, සවුදි අරාබිය, එක්සත් රාජධානිය, ස්විට්සර්ලන්තය සහ ඩෙන්මාර්කය වැනි රටවල් පසුකරමින් ඉදිරියට පැමිණීමටයි, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට හැකිවී තිබෙන්නේ. පර්යේෂණ ආයතනයක් වන GFK නමැති ආයතනයේ Connected Consumer Index 2016 නමැති නවතම වාර්තාවේ මේ බව සඳහන්.

මෙහි දැක්වෙන ආකාරයට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින සාමාන්‍ය පුද්ගලයෙක් "අවම වශයෙන්" වරකට අන්තර්ජාලය හා සම්බන්ධ විය හැකි උපකරණ තුනකට හිමිකම් කියනවා. ඒ අනුව මොබයිල් තාක්ෂනය, පාරිභෝගිකයින්ගේ තීරණ ගැනීම (consumer decision making) සඳහා තියුණු නැතහොත් අසීමිත බලපෑමක් කරන බව මේ වාර්තාවේ සඳහන්.මෙම වාර්තාවට අනුව මෙහි සිටින ජනගහනයෙන් තුනෙන් දෙකකට ආසන්න පිරිසක් (63% ප්‍රතිශතයක්) සිය ස්මාට් දුරකථනය, දේශීය ව්‍යාපාර ස්ථාන පිලිබඳ තොරතුරු සොයා ගැනීම සඳහා භාවිතා කරන බව හඳුනාගෙන ඇත. මෙයට අමතරව, 84% පිරිසක් සිය ස්මාට් දුරකථනය පරිගණකයක් ලෙස භාවිත කරමින් නිතරම පාහේ අන්තර්ජාලයේ සැරිසරන බව සොයා ගෙන ඇත. මෙය 2012 වසරේ සංඛයාලේඛන වලට වඩා 44% වැඩිවීමකි. එසේම මෙහි සිටින ජනතාවගෙන් 76% ක්, තොරතුරු සොයා ගැනීම සඳහා අන්තර්ජාලය උපයෝගී කර ගන්නා බවද හෙළිවී ඇත. කෙසේ වුවද සම්ප්‍රධායික ස්මාට් දුරකථන වලට අමතරව අතෙහි හෝ ශරීරයේ පළඳින උපකරණ හා වෙනත් වෙනත් තාක්ෂණික උපකරණ මගින්ද ජනතාව අන්තර්ජාලය සමග සම්බන්ධ වන බවද මෙහි සඳහන් වී ඇත.

මෙම GFK Connected Consumer Index 2016 නමැති වාර්තාවට අනුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ලකුණු 995 ලැබී ලොව රටවල් 78 අතරින් තුන්වන තැන හිමිවෙද්දී, ඊට ඉදිරියෙන් පවතින ලොව අනෙක් රටවල් දෙක වන්නේ, හොං කොං රාජ්‍යය හා උතුරු ඇමරිකාවයි. මේ අනුව දිනපතාම මෙරට බොහෝ පිරිසක් ස්මාට් දුරකථන හා අනෙකුත් උපකරණ භාවිතයෙන් අන්තර්ජාලය හා සම්බන්ධ වන බව පැහැදිලිය. බොහෝ දෙනෙකුට අද අන්තර්ජාලය යනු සිය එදිනෙදා කටයුතු හා නව දැනුම ලබා ගැනීමේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත්වී ඇත. සිය එදිනෙදා ජිවිතයේ අවශ්‍යතා සඳහාද, අන්තර්ඒපුද්ගල සම්බන්ධතා සඳහාද, සොයා ගැනීමේ පහසුව සඳහාද ඇතුළු තවත් විවිධ කරනු සඳහා අන්තර්ජාලය සමග සම්බන්ධ වන බව හෙළිවී ඇත. මේ අනුව නුතනයේ ඔබගේ ව්‍යාපාරික තොරතුරු අන්තර්ජාලය තුල නොමැතිවුවහොත්, එය මෙරට සිටින පාරිභෝගිකයින්ගෙන් මගහැරී යාමට ඇති ඉඩකඩ බොහෝ බවද එම වාර්තාව අනුව වටහා ගත හැකියි.

30 / 09 / 2016

Friday, October 28, 2016

ධාතුසේන රජතුමා ඩුබායි ආවාද.....?


ලංකා ඉතිහාසයේ සිටි රජවරුන් අතරින් ධාතුසේන රජතුමා පමණක්, වැව් හෙවත් මහා ජලාශ 18 ඉදිකළ බව ඉතිහාසයේ කියවෙන බව ඔබ අසා ඇති. ඒ අතරින් එකිනෙක හා සම්බන්ධ වූ කළා වැව හා බළලු වැවත්, ජයගඟ නමින්ද හැඳින්වෙන යෝධ ඇලත් සුවිශේෂයි. යෝධ ඇල ඉදිකිරීමේදී භාවිත කල ආනතිය හේතුකොටගෙන එය සුවිශේෂී වාරික්‍රමයක් බව මුළු ලෝකයම පිළිගෙන අවසානයි. වාරි ක්‍රමයක් නොවුවද අවුකන ප්‍රතිමාවද ඔහු විසින් කල නිර්මාණයක්.

වැවක් හෝ ජලාශයක් ඉදිකිරීම යනු සුවිශේෂ කටයුත්තකි. විශේෂයෙන් 'කාන්තාර රටක' කෘතිමව ජලාශයක් නැතහොත් වැවක් ඉදිකරන බව පැවසුවහොත් ඔබේ මුහුණට සිනහ රැල්ලක්ද නැගෙනු නොඅනුමානය. "මේ යකාට පිස්සු" යනුවෙන් ඔබේ මුවින් පිට නොවුනහොත් එයද පුදුමයකි. එහෙත් එවන් වූ පුදුමයක් ගැන කෙටි සටහනක් තබන්නටයි, මගේ මේ උත්සාහය.



එ. අ. එ. රාජ්‍යයේ, ඩුබායිහි එවන් වූ සුවිශාල කෘතීම ජලාශයක් නැතහොත් වැවක් ඉදිකොට තිබෙනවා. මෙය හැඳින්වෙන්නේ Al Qudra Lake හෙවත් අල් කුද්රා ලේක් යනුවෙනි. සැබවින්ම මෙය කෘතීම ජලාශයකි. වැලි සහිත Saih Al Salam නමැති කාන්තාර භුමියේ, වැලි පොලවේ ඉදිකොට ඇති මෙම ජලාශය කෘතිමව ඉදි කරන ලද්දක්. මෙය වටා රථවාහන ගමන් කල හැකි පරිදි ඉදි කොට ඇති අතර, ජලාශය දෙපස භුමියේ මල් හා පලතුරු හටගන්නා ගස් සිටුවා ඇත්තේ, අනාගතයේ ඒවා ආශ්‍රිතව පක්ෂීන් බෝ වීමේ අරමුණ ඇතිවයි.

පිරිසිදු වතුර සහිත මෙම ජලාශවල තිලාපියා ඇතුළු මසුන් ඇතිදැඩි වන අතර, කාන්තාර ප්‍රදේශ තෙත්බිම් හා නිල්ල පිරුණු භුමි බවට පරිවර්තනය කිරීමේ අරමුණ ඇතිව, මෙම ජලාශ ඉදි කොට තිබෙනවා. දැනට සොයාගෙන ඇති ආකාරයට, මෙම විල් ආශ්‍රිතව පක්ෂීන් වර්ග 130 කට වඩා ගැවසෙන බව තහවුරු වී ඇත. ඉදිරියේදී තවත් සංක්‍රමණික පක්ෂීන් මේ ජලාශ ආශ්‍රිතව ගැවසෙනු ඇතැයිද, මේ සියලු කටයුතු තවතවත් වැඩි දියුණු වනවිට මෙය පරිසර හිතකාමීන්ගේ පාරාදීසයක් වනු ඇතැයිද පැවසෙනවා. දැනටමත් මෙම ජලාශ ආශ්‍රිතව කල් ගත කිරීම සඳහා නවාතැන් පොළවල් (camping sites) මෙන්ම මස් පුළුස්සා ආහාරයට ගැනීමේ ස්ථානද (barbecue sites) සකස් කොට අවසානයි. කැමති කෙනෙකුට ටෙන්ට් එකක් ගසාගෙන රාත්‍රිය ගත කිරීම, මෙහිදී සිදුකල හැකියි.



ලංකාවේදී නම් වැවක්, ජලාශයක් යනු අමුතු දෙයක් නොවේ. එහෙත් පෙර රජ දවස වුවද, ඒවා ඉදිකිරීමේදී එකල පැවති තාක්ෂනය භාවිතයට ගෙන ඇති බව පැහැදිලියි. කාන්තාරයක ජලාශයක් ඉදි කරනවා යන්නද මදක් විශ්මය ජනක කරුණක් බව අමුතුවෙන් කිවයුතු නැහැ. එනිසාම මේ ජලාශ දුටු වහාම මට හැඟී ගියේ, වැරදීමකින් හෝ මෑතකදී ධාතුසේන රජතුමා ඩුබායි ආවාද යන පැනයයි.





(මේ සමග ඇති වීඩියෝ දෙකෙන් පළමුවැන්නෙන් lake එකට යන මාර්ගයත්, දෙවැන්නෙන් විල හා ඒ අවට ප්‍රදේශයත් දැක ගත හැකියි)

Saturday, October 22, 2016

ලොව ඇති බරම මුදුව

The heaviest ring of the world








ඔබ කවදා හෝ ලොව ඇති ලොකුම ( බරම හෝ වටිනාම ....? ) රන් මුදුව දැක තිබේද...? මේ ඇත්තේ එයයි. මේ මුදුව සාදා ඇත්තේ කැරට් 21 රත්‍රන් සහ වටිනා මැණික් ගල් වලිනි. මෙය නම් කර ඇත්තේ "නජ්මත් ටයිබා" හෙවත් " ටයිබා තාරකාව" යනුවෙනි. මෙම මුදුවෙහි මුළු බර කි.ග්‍ර. 63.856 කි. එහි ඔබ්බවා ඇති මැණික් ගල් වල බර පමණක් කි. ග්‍ර. 5.17 කි. මෙම මුදුව නිපදවා ඇත්තේ සවුදි අරාබියේ ආයතනයකින් වුවද, එය දැක ගත හැක්කේ Dubai හිදී පමණකි. ලොව ඇති බරම මුදුවට හිමි ගිනස් වාර්තාවට හිමිකම් කියන්නේද මෙම මුදුවය. ඔබ මෙය ඔබගේ මංගල දිනයේදී පැළඳීමට කැමතිද....? නමුත් මෙය ඇත්තේ විකිනීමට නොවේ.





Have you ever seen the biggest (or heaviest or most valuble...? ) ring of the world...? This is it. This ring has been made of 21 Carat Gold and precious stones. It is named as "Najmat Taiba" (Star of Taiba). The total weight of the ring is 63.856 Kg. The weight of only the precious stones is 5.17 Kg. This ring has been made by Taiba for Gold and Jewellery Co.Ltd. of Saudi Arabia. But it can be seen only in Dubai, UAE. It has also won the Guiness World Record for the heaviest gold ring. Do you like to wear it for your wedding....? Unfortunately, you cannot, as it is not for sale.

Thursday, October 20, 2016

"මාරු නොකර මල් කඩන්න ....!"


විදේශ ගතවී සිටින බොහෝ දෙනෙකු දන්නා කාරණයක් තමයි, රටකින් රටකට යනවිට තම දුරකතනයේ ඇති සිම් පත වෙනස් කල යුතු බව. වර්තමානයේ රෝමිං පහසුකම් තිබෙන නිසා මෙය අවැසි නොවුවත්, රෝමිං භාවිතා කර ඇමතුමක් ගැනීමේදී ගෙවන්නට වන්නේ ඉතා ඉහල මිලක්. උදාහරණයක් වශයෙන්, ලංකාවේ භාවිතා කරන සිම්පතක් ආධාරයෙන් මැද පෙරදිග රටක සිට ලංකාවට ඇමතුමක් ගැනීමේදී, විනාඩියකට රුපියල් පන්සියයක පමණ මුදලක් වැය කිරීමට සිදුවෙනවා. කෙසේ හෝ රෝමිං භාවිතා නොකරනවානම් ඊළඟ විකල්පය වන්නේ, තමන් භාවිතා කරන සිම්පත ඉවත්කොට, අදාළ රටෙහි භාවිතා වන සිම්පතක් දුරකතනයට මාරුකොට ගැනීමයි. එහෙත් තව මාස කිහිපයකින් ඔබට මෙවන් වූ ගැටලුවකට මුහුණ දීමේ අවශ්‍යතාව, මග හැරී යාමේ අවස්තාව උදාවී තිබෙනවා.

ඩුබායි ඇතුළු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රධාන දුරකථන සැපයුම් කරුවාවූ එටිසලට් ආයතනය තව නොබෝ දිනකින් සම්ප්‍රධායානුකුල සිම්පත වෙනුවට අලුතෙන් හඳුන්වාදීමට බලාපොරොත්තු වන Embeded Card හෙවත් e-Sim නැතහොත් Electronic Sim මගින් මේ සිම්පත් මාරුකිරීමේ ගැටලුවට විසඳුමක් ලබාදීමට බලාපොරොත්තු වෙනවා. ලොව පුරා සිටින GSM Association හෙවත් දුරකථන සේවා සැපයීමේ හා ඊට අදාල සමාගම් වලට අදාළ සංවිධානය මගින් ඉදිරියේදී ලොව පුරා මෙම සිම්පත් භාවිතය ආරම්භ කිරීමට බලාපොරොත්තුවනවා. එහි ආරම්භක පියවර ලෙස පසුගියදා ඩුබායිහි පැවති ප්‍රධාන පෙලේ ප්‍රදර්ශනයකදී මෙම සිම්පත් එළිදැක්වීම සිදු වුනා. මෙම සිම්පත හඳුන්වාදීමත් සමග ඔබ සිටින රටේ භාවිතා වන සිම්පත, වෙනත් රටක භාවිතා කරන කල, එම රටට අදාළ ගාස්තු වලට හුවමාරු වනු ඇති. එවිට අධික දුරකථන ගාස්තු වලින් තොරව, එකම සිම්පතක් භාවිත කිරීමේ පහසුව ඔබට ලැබෙනවා. කෙසේ වුවත් මේවා භාවිතයට එනු ඇත්තේ තවත් මාස හයක පමණ කාලයකට පසුවයි. කෙසේ හෝ මෙම සිම්පත භාවිතයට පැමිණීමත් සමග ඔබ විදේශ ගතවන්නේ නම්, සිම් මාරු කිරීමට කරදර නොවී "ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය සමග එක දිගටම මල් කැඩීමේ පහසුකම" ඔබට හිමිවනු ඇති.

මිට අමතරව මේ ඊ සිම්පත් භාවිතා කරමින් සැකසු ලොව ප්‍රථම ඉලෙක්ට්‍රික් සුපර් කාර් රථයද මෙම ප්‍රදර්ශනයේදී එලි දැක්වුනා. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම රථයට සම්බන්ධ කොට ඇති 4G මොඩම් එකක් මගින් මෙහි බොහෝ කටයුතු සකසා තිබීමයි. මේ තුලින් නිවාස හා කාර්යාල මෙන්ම වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයක් රථය තුලදීද ලැබෙන අතර, පරිගණක වැඩසටහනක් මගින් රථයේ සියලු තත්වයන් හා නඩත්තු වලට අදාළ තොරතුරු, රථයේ අලෙවි නියෝජිතයිනට ලබා දීම සිදු කෙරෙනවා. එසේම අන්තර්ජාල පහසුකම්, දුරකථන, සිනමා හා රුපවාහිනි පහසුකම් වැනිදේත් එක් එක් නිෂ්පාදකයාගේ කැමැත්ත මත රථයට ඇතුලත් පහසුකම් අතර වනවා. මේ අනුව එ. අ. එමීර් රාජ්‍යයේ අලෙවි කෙරෙන 2017 මොඩලයේ සියලු ටොයෝටා ලෑන්ඩ් කෘසර් රථවල මෙම පහසුකම ලබාදී තිබෙනවා. එසේම නිසාන් මැක්සිමා හා පැට්‍රල් වර්ගයේ රතවලද මෙම පහසුකම ඇතුලත් කොට ඇත. මෙය ලොව පලමු වරට හඳුන්වා දීමකි. තව නොබෝ දිනකින් මිට අදාළ සියලු කටයුතු නිමවූ පසු මේ පහසුකම් අත් විඳීමට ඔබටද අවස්තාව සැලසෙනු ඇත.




Wednesday, October 12, 2016

<කාන්තාවන්ට සුවිශේෂයි>      <Specially for ladies>


"රත්තරන් නෙත් දෙකින් - සලා සිහිල් පවන් 
ජිවිතේ ලසෝ තැවුල් - නිවන්න රත්තරන්"

ටී.එම්. ජයරත්න ශුරින් ගැයූ මේ ගීතය ඔබ බොහෝ දෙනෙකු අසා ඇතුවාට සැකයක් නැහැ. රත්තරන් ඇස් වලින් සිහිල් පවන් සලන්නේ කෙසේද යන්න ගැටළුවක් වුවත්, බොහෝ පෙම්වතුන් අතර එකල මෙය ඉතා ජනප්‍රිය ගිතයක්ව පැවති බව ඔබට මතක ඇති. (වත්මන් බසින් "මල් කඩන" විටත් මේ පද පේලි sms හා FB message වල තවමත් අඩංගු වන බවද ඉඳ හිට දැකිය හැකිය) කෙසේ වුවද ගී පදවැල් අතර රත්තරන් නැතහොත් රත්රන් ගැන සඳහන් වන එකම අවස්තාව මෙය නොවේ.

"රත්තරන් පෙම් පුරානේහි සිතුවම් මකා..."

"රත්තරනින් රන් මාල නොබැන්දට..."

"රත්තරන් ප්‍රාර්ථනා...."

"රත්තරන් ආදරේ...."

"රත්තරනේ නුඹ ගියදා..." 

වැනි තවත් ගීත සිය ගණනක් උදාහරණ ලෙස දැක්විය හැක. කෙසේ වුවද මේ බොහෝ ගීත වල රත්තරන් යන පදය යොදා ඇත්තේ, එහි අනෙක් පාර්ශවය, එනම් ස්ත්‍රිය හෝ පුරුෂයා තමනට බොහෝ වටිනා බව පෙන්වීමටය. කෙසේ වුවද මගේ මේ උත්සාහය ගී පද විවරණයක යෙදීමට නොවේ. ඔබ, මම, අප කවුරුත් ආශා කරන රත්රන් ගැන තොරතුරු බිඳක් ගෙන ඒමටය. මේ ලිපිය කාන්තාවන්ට සුවිශේෂ බව මුලින්ම මා පැවසුවේ එනිසාය. මන්ද රත්රන් වලට වැඩියෙන්ම ආශා කරනුයේ කාන්තාවන් නිසාවෙනි. මේ ඔබ බොහෝ දෙනෙකු අසා ඇති, ඩුබායිහි පිහිටි රත්රන් අලෙවි මධ්‍යස්ථානය, නැතහොත් "Gold Souq" (ගෝල්ඩ් සූක්) පිළිබඳවයි.

ඩුබායි යනු සංචාරක ආකර්ෂණය ඉතාමත්ම ඉහලින් දිනාගත්, ලොව ප්‍රධාන පෙලේ වාණිජ නගරයකි. දිනපතාම ලක්ෂ ගණනින්, ලොව වටාම සිටින සංචාරකයින් ඩුබායි වෙත පැමිණෙන්නේ මෙහි ඇති වානිජමය පරිසරය නිසාවෙනි. ස්වභාවික ගංගා ඇලදොළ වනාන්තර හිඟ වුවද, ලොව ඕනෑම රටක පුද්ගලයෙකුට මෙහි පැමිණ ජිවත් වීම අපහසු නොවේ. මුදල් තිබේනම් ලොව පවතින ඕනෑම දෙයක් ලබා ගැනීමේ පහසුව මෙහි සිටින පුද්ගලයන්ට ඇත. මිට පෙරද මා විසින් ඩුබායිහි පවතින සමහර දේ ගැන මේ පිටුවේ තොරතුරු ලියා පල කල නිසා, ඒවා කියවූ ඔබට ඒ පිලිබඳ තොරතුරු දැන ගන්නට ලැබී ඇතැයි සිතමි. අද මා මේ තොරතුරු ඉදිරිපත් කරන ඩුබායිහි ගෝල්ඩ් සූක් යන්නද මෙහි ඇති සුවිශේෂී ස්ථානයකි. 

ඩුබායිහි ප්‍රධාන ගෝල්ඩ් සූක් දෙකක් ඇත. එනම් පැරණි හා නව වශයෙනි. (Old Gold Souq and New Gold Souq) මිට අමතරව මහා පරිමාණයෙන් රත්රන් ගනුදෙනු සඳහා ගෝල්ඩ් ඇන්ඩ් ඩයමන්ඩ් පාර්ක්ද, ඩුබායි මෙටල් ඇන්ඩ් කොමොඩිටීස් සෙන්ටර් යනුවෙන්ද ස්ථාන දෙකක් ඇත. කෙසේ වුවද, එදිනෙදා රන් ආභරණ මිලදී ගැනීම සඳහා තවත් සිය ගණනක් රන් වෙළඳ සැල් රට තුල පිහිටුවා ඇත. මේ සියල්ල අතරින් වඩා සිත් ගන්නා හා ජනතාව වැඩියෙන්ම ඇදෙන ස්ථානය, ඩේරා ප්රදේශයේ පිහිටි පැරණි ගෝල්ඩ් සුකයයි. 



තවමත් ඉපැරණි බව රැඳි ඩේරා ගෝල්ඩ් සුකය තුල රන් ආභරණ අලෙවිසල් 300 කට අධික සංක්යාවක් පිහිටා ඇත. මේවා කුඩා පරිමානයේ සිට මහා පරිමාන අලෙවි සල් ලෙස විවිධ ප්‍රමාණ වලින් යුක්තවේ. එසේම මින් සමහරක් ආයතන, අනෙක් කුඩා වෙළඳ ආයතන වෙත රත්රන් කුට්ටි හා ආභරණ විකුණන අලෙවි සල් ලෙසද ක්‍රියා කරයි. මෙම ගෝල්ඩ් සුකය තුල කැරට් 18,21 හා 22 ආභරණ මෙන්ම කැරට් 24 කාසි හා රන් කුට්ටි (gold bars) විකිණීම සඳහා ඇති අතර, පාරිභෝගිකයිනට තමනට රිසි පරිදි, තමන් කැමති වර්ගයේ රන් ආභාරන මිලදී ගැනීමේ හැකියාව පවතී. එසේම රන් භාණ්ඩ වලට අමතරව සුදු රත්රන් හෙවත් ප්ලටිනම්ද, රෝස රත්රන්, දම් හෙවත් පර්පල් රත්රන්, රිදී, දියමන්ති හා රන් ආලේපිත ආභරණද මිලදී ගැනීමේ හැකියාව ඇත. කුඩා කරාබු යුගලයේ සිට සියලු ආකාරයේ රන් ආභරණ මෙහි විකිනීමට තබා ඇත. එසේම රත්රන් වලින් සැකසූ හැට්ට, තොප්පි වැනි ඇඳුම්ද මෙහි විකිනීමට තබා තිබෙන බව පැවසුවහොත් ඔබ විශ්වාස නොකරන්නටත් ඉඩ ඇත. 

ඉතා ඉහල මට්ටමේ ආරක්ෂාකාරී පරිසරයක් තුල පිහිටා ඇති මෙම ප්‍රදේශය, දිවා රාත්‍රී දෙකෙහි දැඩි රැකවරණ මධ්‍යයේ පවතී. එසේම මෙහිදී දැකිය හැකි සුවිශේෂත්වයක් වන්නේ මේ බොහෝ සාප්පු වල මිල ගණන් බොහෝ විට සමාන වීමයි. පාරිභෝගිකයින්ගේ දැනුවත් භාවය සඳහා දිනපතා කැරට් 22 හා 24 රන් මිල ගණන් මෙහි යනෙන මග පිහිටුවා ඇති ප්‍රධර්ශන පුවරු වල සටහන් කොට ඇත. දින පතාම දහස් ගණන් පාරිභෝගිකයින් පිරිසක් මෙහි ගනුදෙනු වල යෙදෙන අතර, ඩිරාම් මිලියන ගණනක ගනුදෙනු මෙහිදී එක දිනකදී සිදුවේ. එසේම කොතරම් දියුණු හා මහා පරිමාණ ගොඩනැගිලි දිනපතා ඩුබායිහි ගොඩනැගුණද, තවමත් මේ ගෝල්ඩ් සුකය තුල පැරණි බව සුරැකෙන අයුරින් සංරක්ෂණය කර ඇත. ලී වලින් සැදුනු ආරුක්කු ආකාරයේ මංපෙත දිගේ යනවිට එහි පෞරාණික බව මනාව ඉස්මතුවී ඇත. සමහර ගණනය කිරීම් වලට අනුව දිනයේ ඕනෑම වේලාවක ටොන් 10 ක පමණ රන් සංචිතයක් මෙහි රැඳී තිබෙන බව සොයාගෙන ඇත. එසේම ලෝකයේ රත්රන් අලෙවියෙන් සියයට විස්සක් (20%) මේ ගෝල්ඩ් සුකය හරහා සිදු වන බවද පැවසේ. ඒ අනුව දිනපතා මෙහි අලෙවි වන රන් ප්‍රමාණය ගැන දළ අදහසක් ඔබට ලබා ගත හැකි වනු ඇත. 

ලොව නන් දෙසින් පැමිණෙන දහස් ගණන් පිරිස් දිනපතාම මෙහි ඇදී එන බව මිට ඉහත සඳහන් කල බව ඔබට මතක ඇත. ඔබ මෙහි ගියහොත් දෑස් අයා රන් ආභරණ දෙස බලා හිඳිනා රූබර ලඳුන් බොහෝ පිරිසක් ඔබට දැක ගත හැක. ඉතා රූමත් මොවුන් දුටු කල මට මතක් වුයේ ගුත්තිලයේ සඳහන් වූ කවි පදයකි. "ඇසි පිය හෙලන පමණින් නොවෙති දෙවඟන" යනුවෙන් එහි සඳහන් වේ. ඒ අනුව ලොව විවිධ රටවලින් පැමිණෙන දෙවඟනන් වැනි මේ රූබර ලඳුන් අතරින්, නියම මිනිස් දූවරුන් වෙන් කර හඳුනා ගැනීමට අවශ්ය නම්, රත්රන් බඩු දෙස බලා සිටින අතරේ ඔවුන් ඇසි පිය ගසන්නේදැයි බලන්න. ඒ අනුව ඔබට ඔවුන් වෙන් කර හඳුනා ගත හැකි වනු ඇත. 

 (ඩුබායි ගෝල්ඩ් සුක්හි කුඩා වීඩියෝවක් මේ සමග ඇත.)

Monday, October 10, 2016

<'ඩිබ්බා' ගමන>    - ඉතිරි කොටස (මුල් කොටස 07/10/2016 දින පළකර ඇත.)


'මසාෆි' නගරය පසු කල අපි 'ඩිබ්බා' දෙසට වැටී ඇති මාර්ගය දිගේ ඉදිරියට ඇදුනෙමු. පසුගිය දිනවල වූ සෞම්‍ය කාලගුණය දැන් ක්‍රමයෙන් පහ වෙමින් පවතී. පරිසරයේ පවතින උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහල යමින් පවතින නමුදු, තවමත් ඉවසා දරා ගත නොහැකි උණුසුමක් නැත. පරිසරයේ උණුසුමත්, ගමනේ වේගයත් නිසා රථය උණුසුම් වුවද, වා සැකසුම් නිසා ඇතුලත සිටින අයට අපහසුවක් නැත. කෙසේ වුවද 'මසාෆි' වල මදක් ගිමන් නිවු අපි, හැකි ඉක්මනින් 'ඩිබ්බා' බලා යාමට සිතුවේ, මුහුදු වතුරේ ගිලී, සියලු වෙහෙස නිවා ගැනීමේ අරමුණෙනි.

තවත් මද වේලාවකට පසුව අපට එහි ලඟා වීමට හැකි විය. තරු පන්තියේ හෝටල ගණනාවක් මුහුදු වෙරළ තීරයට යාබදව ඉදිවී ඇති අතර, තවත් හෝටලයක් දෙකක් ඉදිවෙමින් පවතිනුද දැකිය හැකි විය. ඒවා පසුකරගෙන ඉදිරියට ගිය අපට මුහුදු වෙරළෙහි වූ කුඩා ගස් යට නතරවී දිවා ආහාරය ගන්නා බොහෝ පිරිස් දැකගත හැකි විය. එසේ වුවද අපේ බලාපොරොත්තුව වූ ස්නානය සඳහා සුදුසු තැනක් අපට හමුවුයේ නැත. එනිසා ක්ෂණික තීරණයක් මත එතැන් සිට කොර්ෆකාන් (Khorfakkan) නගරය දෙසට යෑමට අපි තීරණය කළෙමු. ඒ අනුව තවත් දුරක් ගෙවා එහි ලඟා වීමට අපට හැකිවිය.

'කොර්ෆකාන්' නගරයද තරමක් විශාල නගරයකි. එහෙත් අප එහි ඇතුලට යාමට උත්සාහ කලේ නැත. මන්ද නගරයට පිවිසෙන විටම වාගේ අපේ නෙත ගැටුණු මනරම් මුහුදු තිරය නිසාවෙනි. එනිසා තවදුරටත් ඉදිරියට නොගොස්, රථ නවතා අප ඒ අසල වූ උද්‍යානයක් බඳු කොටසට ඇතුළු වීමු. එය සුවිසල් ගසින් සෙවන වුනු මනරම් උද්‍යානයකි. මේ වනවිට 'බඩ පනුවන් සෙමෙන් සෙමෙන් සිය බොක්සිං සංග්‍රාමය' අරඹා තිබු නිසා අපට වෙනත් විකල්පයක් නොමැති විය. එනිසා උද්‍යානයේ සෙවනැති ගසක් පාමුල, නිවසින් රැගෙන ගිය 'ඉටි පැදුරු' එලාගත් අපි සැවොම සප්පායම් වීම ඇරඹුවෙමු. මොහොතකින් කෙසෙල් කොලයේ සුවඳ දැවටුණු රසවත් බත් පත බැගින් අප සියලු දෙනා අතර බෙදී ගියේය. අප හට එය රසවත් ආහාරයක්ම විය.



කෑමෙන් අනතුරුව තවත් මොහොතක් පැදුරෙහිම වාඩිවී අල්ලාප සල්ලාපයේ යෙදෙමින් විවේක ගත්තේ, තවත් සොඳුරු අත්දැකීමක් පිලිබඳ සැලසුම් කරමිනි. මේ වන විටත් අප වැනිම සිය ගණනක් වූ තවත් සංචාරක පිරිස් උද්‍යානයේ තවත් නොයෙක් තැන්වල හිඳගෙන ආහාර ගනිමින් හා විවේක සුවයෙන් පසු විය. මිට අමතරව තව බොහෝ දෙනෙක් මුහුදු දියෙහි ගිලෙමින් සතුටු වෙමින් සිටියහ. විවිධ රටවල, විවිධ ජාතිකයින් බොහෝ පිරිසක් ඒ අතර විය. මෙම වෙරළ තීරයේදී දැකිය හැකිවූ තවත් සුවිශේෂී වූ අංගයන් ගණනාවක් විය. ඒ අතර වූ ත්‍රාසජනක අංගයක් වුයේ මෝටර් බෝට්ටුවකට බැඳී 'පැරිචුටයක' (parachute) නැගී ගමන් කිරීමයි. මුදල් ගෙවා එහි සතුට ලැබීමට, කැමති කෙනෙකුට හැකිවිය. එසේම 'වෝටර් ස්කූටර්' (water scooter) පැදිමටද එහි පහසුකම් තිබුණි. මිට අමතරව මුදල් ගෙවා බෝට්ටුවෙන් විනාඩි තිහක පමණ කාලයක් මුහුද දෙසට යාත්‍රා කිරීමටද අවස්තාව තිබුණි. කුඩා දරුවනට සෙල්ලම් කිරීම සඳහා වෙරළෙහි ඔන්චිල්ලා සහ සීසෝ ඉදිකර තිබුණි. අප සියල්ලන්ම කැමති වුයේ මේ සියල්ල අතරින් මුහුදු ගමනේ සතුට විඳීමටයි. එනිසා මඳ වෙලාවක් විවේක ගැනීමෙන් අනතුරුව අපි මුදල් ගෙවා බෝට්ටුවකට ගොඩ වීමු. බෝට්ටුව පැදෙව්වේ ඉන්දියන් ජාතිකයෙකු විසිනි. මද දුරක් යනවිට හින්දි සින්දු වාදනය වීම ඇරඹුණි. මුහුදෙන් හමන සුළඟ සියලු වෙහෙස නිවාලීය. පැද්දි පැද්දී බෝට්ටුවේ යන ගමන, සිහියට නැංවූයේ, රූබර ලලනාවකගේ නාරි ලාලිත්‍යයකි. නිල්වන් මුහුදු දිය දෙබෑ කර, කිරි පැහැති පෙන පිඩු නංවමින් බෝට්ටුව ඉදිරියට ඇදෙන විට ඈතින් වූ කඳුපෙළ මනරම් දසුනක් මැවීය. ඉතා කුඩා වරායක් එහි පිහිටා තිබු අතර, ඒ පිටුපස වූ කඳු වලින් වටවූ දුපතට ගිය අපි නැවත හැරී ආවෙමු. අඩ පැයකට ආසන්නවූ බෝට්ටුවේ ගමන ඉතා සතුටුදායක මතකයක් සිත තුල රැඳවීමට සමත් විය. (මීට අදාළ වීඩියෝ දෙකක් මම වෙනම පලකරමි. කැමති කෙනෙකුට ඒවා නැරඹිය හැක.)

ගොඩ බිමට පැමිණි අප ඉන්පසු කලේ ඒ සිතල මුහුදු වතුරේ ගිලීම සඳහා සුදානම් වීමයි. ඩුබායිහිදීද දිනපතා නා පිරිසිදු වන නිසා ඇඟේ කුණු නොමතිවුවද, මේ මුහුදු තිරයේ ගිලීමට පෙරේත කමක් සිත තුල ඇති වුවේ, එහි සුව පහසු බව ගතට මෙන්ම සිතටද විඳ ගැනීමේ ආශාවෙනි. කෙසේ වුවද මෙහිදීද යමක් කිව යුතුය. ඩුබායිහි මුහුදු වෙරල තීරවල (open beach) කාන්තා, පිරිමි සැවොම නාන ඇඳුමින් සැරසී ස්නානය කලද, මේ ප්‍රදේශයේදී තරමක් ඇඟ වැසෙන ඇඳුමකින් සැරසී එය කලයුතු විය. මුස්ලිම් රටක් වූ හෙයින් අප එම සංස්කෘතියටද ගරු කල යුතු අතර, එසේ හෝ ජනතාවට සතුටු වීමට ඉඩ සලසා දීම ගැන අප මෙම පාලකයිනට ස්තුතිවන්ත විය යුතුය. බොහෝ වේලා දියේ ගිලෙමින් සිත් සතුටු වීමට අපට හැකිවිය. බැස යමින් පැවති හිරු අපහට මතක් කරමින් සිටියේ, අපට නැවතත් කි.මී. සිය ගණනක් ගෙවා ඩුබායි බලා යා යුතු බවයි. එනිසා අකමැත්තෙන් වුවද මුහුදු දියෙන් ගොඩ ආ අප, ඇඳුම් මාරුකර, අසල වූ ආපනශාලාවකට ගොස් තේ පානය කළෙමු.

හිරු කෙමෙන් කෙමෙන් බටහිර අහසේ රන්වන් පැහැය තවරමින් සිටියේය. අපට තවත් එහි රැඳෙන්නට ඉඩක් නොමැත. අකමැත්තෙන් වුවද මේ සුන්දර නගරයත්, වෙරළ තිරයත් අතහැර දමා අප ආපසු යා යුතුය. එනිසා යලිදු දිනෙක මේ සුන්දර භූමියට පැමිණෙන තෙක් අප නැවත ඩුබායි බලා ගමන් ඇරඹුවෙමු. අප සමුගෙන ගිය ශෝකයටදෝ, හිරුද බටහිර අහසේ කෙලවරකින් සිය එලිය නිවා දමා සැඟව යනු අපට දැක ගත හැකිවිය.

Friday, October 7, 2016

<"ඩිබ්බා" ගමන>         <Trip to Dibba>


පසුගිය සිකුරාදා දිනය අපට තවත් විනෝදකාමී දිනයක් විය. සිකුරාදා දිනය මැදපෙරදිග කලාපයේ නිවාඩු දිනය බව බොහෝ දෙනෙක් දන්නවා ඇතයි සිතමි. අප සැවොම කතා වුනේ මේ සිකුරාදා දිනයේදී, මින් පෙර ෆුජෙරා ගිය ගමනේදී යෑමට නොහැකි වූ ඩිබ්බා (Dibba) වෙත යෑමටය. ඩිබ්බාද, ෆුජෙරා වලටම අයත් ප්‍රදේශයකි. පසුගිය වතාවේ අප ෆුජේරා ගිය විට ඩිබ්බා වෙත යාමට උත්සාහ කලද, පැවති දුහුවිලි කුණාටු නිසා එය කල නොහැකි විය. එනිසා ග්‍රීෂ්ම සමය ඇරඹීමට ප්‍රථම මෙහි යා හැකි අවසාන කාලය මේ අප්‍රේල් මාසය නිසා, මේ ගමන යාමට තීරණය විය. (අපගේ ෆුජෙරා ගමන ගැන මින් ඉහත ලිපියක සටහන් කර ඇත. එනිසා ප්‍රදේශය ගැන තොරතුරු මෙහි සටහන් නොකරමි. කැමති අයෙකුට ඒ සටහන කියවා බැලිය හැක.)

සිකුරාදා දිනයේ උදෑසනින්ම මේ ගමන පිටත් වීමට සිටියද එය යම් පමණකට ප්‍රමාද විය. මන්ද, සෑමදිනකම මෙවන් ගමන් වලදී ආපනශාලා (restaurant) වලින් ආහාර ගන්නා නිසා මෙවර නිවසින් කෑම උයාගෙන යාමට සැලසුම් කල බැවිනි. එහි විශේෂත්වයක් වුයේ මෙවර 'කෙසෙල් කොලයේ' එතු බත් පාර්සල් රැගෙන යාමට තීරණය කල බැවිනි. 'සුපිරි වෙළඳ සැලෙන් මිලදී ගත්' කෙසෙල් කොලවල (ඩුබායිහි කෙසෙල් වගාකළ තැන් දැකීම දුර්ලභ නිසා) කදිමට ඔතාගත් දිවා ආහාරයත්, අනෙකුත් කෑම බිම වර්ගත්, ඇඳුම් පැළඳුම්ද රැගෙන නිවසින් පිටත් වන විට පෙ.ව. නමය පමණ වී තිබුණි. මෙවර අපි භාවිතා කලේ ගියවර ෆුජෙරා යාමට භාවිතා කල මාර්ගය නොවේ. මෙවර අපි එමිරේට්ස් පාර (Emirates Road) හරහා ඩිබ්බා බලා ගමන් කලෙමු. එනිසා ගියවර මෙන් අතරමගදී බොහෝ කඳු දක්නට නොලැබුණි. කෙසේ වුවද පැයක පමණ ගමනකින් පසු අප පැමිණියේ 'ෆ්‍රයිඩේ මාකට්' (Friday Market) ලෙස හැඳින්වෙන ප්‍රදේශයටයි. කඳු අතරින් සැදුනු මාර්ගය දෙපස සැදි කඩ මන්ඩියක් වන මෙහි විවිධ වර්ගයේ බඩු භාණ්ඩ අලෙවි වේ. විශේෂයෙන් වටිනා බුමුතුරුණු (carpets) අලෙවිසැල් බොහොමයක් මේ ස්ථානයේ දක්නට ලැබුණි. පකිස්තාන, ඉරාන, ඇෆ්ගනිස්තාන වැනි ජාතිකයින් විසින් පවත්වාගෙන යන මෙම කඩවල, අතින් හා යන්ත්‍ර මගින් නිපදවන ලද සරල මෙන්ම ඉතා වටිනා බුමුතුරුණු අලෙවිය සඳහා තබා තිබෙනු දැකිය හැකිවිය. එසේම මුළුතැන්ගෙයි උපකරණ, ප්ලාස්ටික් උපකරණ, විසිතුරු බඩු, සෙල්ලම් බඩු ඇතුළු තවත් බොහෝ දේ අලෙවි කරන කඩ මෙහි පිහිටා තිබුණි. මිට අමතරව අලෙවිය සඳහා මල් හා අනෙකුත් පැල වර්ග තබා තිබු කඩ දෙක තුනක්ම විය. එළවලු හා පලතුරු කඩ ගණනාවක්ම විය. අපේ බඩජාරිකම මතුවුයේ තම්බා අලෙවියට තිබු බඩ ඉරිඟු කරල් දුටුවිටය. වතුරෙන් ඉවතට ගෙන ලුණු හා මිරිස් යාන්තමට දවටා දුන් බඩ ඉරිඟු කරල් වල වූ කිරි රසය, තවමත් සිතෙහි රැඳී ඇත. විකිනීමට තබා තිබු අඹ, කෙසෙල්, දොඩම් ඇතුළු පලතුරු කිහිපයක් මිලදී ගත් අප එතනින් පිටත් වී "මසාෆි" (Masafi) යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශය දෙසට ගියෙමු.



මේ ප්‍රදේශයේ සිට ඉදිරියට කඳු සහිත පරිසරයක් දැකිය හැකිවිය. මිට පෙර ලිපියේ සඳහන් කල ආකාරයටම මේ කඳු ගස් වැල් සහිත ඒවා නොවේ. ඒවා තනිකරම රළු ගල් හා පස් වලින් යුතු වූ අතර, තැනින් තැන ඉතා සිහින් කොළ සහිත ගස් වර්ග වැවී තිබුණි. සමහර තැනෙක ව්‍යාපාරික මට්ටමින් වගා කල රටඉඳි වගාවන් දැකිය හැකිවිය. කාන්තාර ප්‍රදේශ වල ඈතින් ඉඳහිට ඔටුවෙකු හෝ රංචුවක් දැකිය හැකි වුවත්, උනට මාර්ගයට පිවිසිය නොහැකි ලෙස වැටවල් සකස් කරතිබූ නිසා මාර්ගය ආසන්නයේ දැකිය නොහැකිවිය. අප මදක් ඉදිරියට ඇදෙන අතරතුරේ දුටුවේ තරමක් පැරණි මෝටර් රථයකට වී පලතුරු විකුණන පකිස්තානු තරුණයින් දෙදෙනෙකි. ඒ වන විට පරිසර උෂ්ණත්වය සෙල්. අංශක 36 පමණ වූ අතර, වායුසමනයක් නැති රථයකට වී ඔවුන් කරන වෙළඳාම දුටු අපි ඔවුන්ගෙන්ද දොඩම්, අඹ හා ස්වීට් මෙලන් (Sweet Melon) මිලදී ගත්තේ ඔවුනට කරන උපකාරයක් වශයෙනි.

අප ඉදිරියට ඇදී යනවිට 'මසාෆි' නගරය හමුවූ අතර එතැන් සිට ඩිබ්බා බලා දෙසට රථ ගෙන ගියෙමු. 'මසාෆි' නගරයද එතරම් විශාල එකක් නොවේ. එහිද බොහෝ උස ගොඩනැගිලි නැත. කෙසේ වුවද ඩුබායිහි ප්‍රසිද්ධ 'මසාෆි' වතුර බෝතල් නිපදවන සුවිශාල කර්මාන්ත ශාලාව පිහිටියේ මේ නගරයේය. ඊට අමතරව 'ඩිබ්බා' වතුර නිපදවන්නේද මෙහිය. මෙසේ මේ ප්‍රදේශයේ වතුර නිපදවන කර්මාන්ත ශාලා පිහිටුවා ඇත්තේ, මේ ප්‍රදේශ වල පවතින ස්වභාවික ජලධාරා නිසාය. එ.අ. එමීර් රාජ්‍යයෙහි වැඩියෙන්ම වර්ෂාව ලැබෙන ප්‍රදේශය ෆුජේරා කලාපය බව මිට ඉහත මා විසින් සඳහන් කළා ඔබට මතක ඇතැයි සිතමි. වැසි කාලවලදී කඳුවලට ඇදවැටී ගලායන මහා ජලධාරාවන් සමහර තැන් වලදී එක්රැස් වී පවතී. මෙසේ ජලය ගලා බසිනා නිම්නය හෙවත් ගංගා ද්‍රෝණිය 'වාඩි' (Wadi) යන අරාබි වචනයෙන් හැඳින්වේ. මෙසේ සැදි සුවිශාල ජලතටාකයන්හි ජලය, අන්තර්ජාතික මට්ටමින් පිරිසිදු කර බෝතල් කර වෙළඳ පොලට යැවේ. එසේම භූගත ජල මුලාශ්‍ර වලින්ද මේ ජලය ලබා ගනී. එවන් සම්පත් වලින් මේ ප්‍රදේශය පිරි ඇති නිසා, මේ ජල බෝතල් කිරීමේ කර්මාන්ත ශාලා මේ ප්‍රදේශයේ පිහිටුවා ඇත.

ඉතිරි කොටස පසුවට.......

Thursday, October 6, 2016

 <ඩුබායි ක්‍රීක්>           <Dubai Creek>


පසුගිය දිනයක ඩුබායිහි පිහිටා ඇති ක්‍රීක් එක පිළිබඳව සටහනක් ඉදිරිපත් කල බව ඔබට මතක ඇතැයි සිතමි. ඒ සටහන ගැන බොහෝ දෙනෙකු වටිනා අදහස්ද පලකොට තිබූ අතර ඒ පිලිබඳ නැවත මාගේ ස්තුතිය මෙයින් පලකරමි. දැන් නැවතත් ඩුබායි වලට ග්‍රීෂ්ම සමය උදාවී ඇත. වසරේ මේ කාලයේ උෂ්ණත්වය බොහෝ විට සෙල්සියස් අංශක හතලිහ සහ පනහ අතර දෝලනය වන බව සඳහන් කල යුතුය. ලංකාවේ සිටින විටදී නම් මෙම ඍතු වෙනස තදින් නොදැනුනද, සමකයෙන් ඈත රටවල ජිවත් වන විට මේ වෙනස ඉතා හොඳින් දැක ගත හැක.





පසුගිය දිනෙක සැන්දෑ වරුවක, මෙම මුහුදු තීරය අසලට ගියේ සැන්දෑ සුවය විඳිමින් මදක් විවේකයෙන් කල් ගෙවීමටය. එහිදී ඉතා සුන්දර සිදුවීමක් මගේ නෙත ගැටුණි. එක්තරා මුහුදු ලිහිණින් වර්ගයක් (මොවුන්ගේ නම හෝ වර්ගය නොදනිමි) එම ක්‍රීක් එක පුරා පියාඹමින් කල් ගත කරන අයුරු ඉතා සුන්දර දසුනක් විය. සිය ගණනක් වූ එම ලිහිණින් පියාඹමින් යන අතර විටෙක ජලය මතුපිට පාවෙමින් සිටින අපූරුව ඉතා මනරම් සිතුවමක් විය. මෙහි ඉවුරට රැස්ව සිටි බොහෝ දෙනා, මෙම අහිංසක සතුනට ආහාර ලබා දීමටද කටයුතු කරනුද මෙහිදී දැක ගත හැකි විය. විටෙක ඉවුරෙහිද, බෝට්ටු නවතන ස්ථානයේ පාලම් ඇඳි මතද, යකඩ කණු මතද රැඳී උන් මේ කුරුල්ලන් ඊළඟ මොහොතෙහි නැවත පියාසර කරමින් අවට සැරිසැරීම ඉතා දැකුම්කලුය. මේ කෙටි වීඩියෝව ඔබ වෙත ගෙන එන්නේ, මා දුටු ඒ සුන්දරත්වය ඔබ හා බෙදා ගැනීමේ අරමුණෙනි. ඔබ සොබා දහමට ප්‍රිය කරන අයෙකු නම්, නිසැකවම ඔබ මෙය නරඹා සතුටු වනු ඇත.

Tuesday, October 4, 2016

<ඩුබායි ක්‍රීක්>     <Dubai Creek>


මලලසේකර ඉංග්‍රීසි සිංහල ශබ්ධ කෝෂයට අනුව creek යන්නෙන් හැඳින්වෙන්නේ කුඩා මුහුදු බොක්කක්, කුඩා වරායක් නැතහොත් කුඩා ගඟකි. විකිපීඩියා විශ්වකෝෂයට අනුව එයම හැඳින්වෙන්නේ කුඩා දියදහර නැතහොත් රැලි නැගෙන, රට තුලට වැදුණු මුහුදු තීරයක් සඳහාය. කෙසේ හෝ ඇල මාර්ගයක් වැනි වූ, මුහුදු බොක්කක් මෙන් රට තුලට කා වැදුණු, මුහුදු ජලය සහිත, මුහුදේ තරම් නොවුවද කුඩා රැලි නැගෙන මුහුදු තිරයක්, Creek නැතහොත් 'ක්රීක් ' යනුවෙන් දළ වශයෙන් හඳුන්වා දිය හැක. ඩුබායි හි පිහිටි 'ඩුබායි ක්රීක්' යන්නද මෙවැනි ජල මාර්ගයකි. සමහර ඉතිහාස මූලාශ්‍ර වලට අනුව පුරාතනයේ මේ ජල මාර්ගය සාරා ගඟ (River Zara) ලෙස හැඳින්වී ඇති අතර, එය සැතපුම් සිය ගණනක් ඈතින් වූ අල්ඒන් (Al Ain) දක්වා විහිදී තිබී ඇත. එහෙත් අද අපට දැකිය හැක්කේ ඩුබායිහි පවතින ජල මාර්ගය පමණි.

මේ 'ක්රීක්' එක නිසාවෙන් ඩුබායිහි භුමිය ඉතිහාසයේ සිටම කොටස් දෙකකට වෙන්ව පැවතුනි. ඒ ඩේරා (Deira) හා බර් ඩුබායි (Bur Dubai) ලෙසිනි. අදටත් ඩුබායිහි ප්‍රධාන වාණිජ නගර දෙකක් වන මේ භුමි දෙක මැදින් ඩුබායි ක්රීක් ජල මාර්ගය ගලා බසී. ඩුබායිහි මුල් පදින්චිකරුවන් වන 'මක්ටුම්' වරුන් අබුඩාබිහි 'බානියාස්' ප්රදේශයෙන් පැමිණ පදිංචි වී ඇත්තේ මේ ක්රීක් එක අසලය. මිනිසුන්ට සිය කටයුතු කරගෙන යාමට ජලය අවශ්‍ය නිසා, ලංකාවේ මල්වතු ඔය ආශ්‍රිතව ජනාවාස බිහිවුවාක් මෙන්, ඩුබායිහි ක්රීක් එක අසල මේ ජනතාව පදිංචි වී ඇත. අදටත් ඩුබායිහි පාලකවරු වන්නේ මේ මක්ටුම් පරම්පරාවේ අයෙකි. ඔහු ඩුබායිහි පාලකවරයා (Ruler of Dubai) මෙන්ම, එ. අ. එ. රාජ්‍යයේ උප ජනාධිපති (Vice President of UAE) වන ෂේක් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්ටුම්ය. (Sheikh Mohammed Bin Rashid Al Maktoum)

පුරාතනයේ සිටම මේ මුහුදු තීරය වෙළඳ නාවික ගමන් සඳහා යොදා ගනු ලැබ ඇත. එහිලා නැගෙනහිර අප්‍රිකාව හා ඉන්දියාව වැනි දුර බැහැර රටවල සිට පවා කුඩා යාත්‍රා මගින් රට තුලට භාණ්ඩ ප්‍රවාහනය කිරීම සිදුකොට ඇත. කෙසේ වුවද, මේ ක්රීක් ජල මාර්ගය ඔස්සේ විශාල නාවික යාත්‍රා හෝ නැව් ගමනාගමනය සිදු කල නොහැක. එහිලා බොහෝ විට භාවිතා කරනුයේ 'ඩෝව්' නැතහොත් 'ඩෝ' (dhow) යනුවෙන් හැඳින්වෙන දැවයෙන් නිමාකල යාත්‍රා විශේෂයකි. මේ 'ඩෝ' යාත්‍රා පුරාණයේ රතු මුහුද ආශ්‍රිත කලාපයේත්, ඉන්දියානු සාගර කලාපයේත් ගමනාගමන කටයුතු සඳහා භාවිතා වී ඇත. විශේෂයෙන් මගීන් ප්‍රවාහනයට වඩා, බරින් වැඩි භාණ්ඩ ප්‍රවාහනය සඳහා මේ යාත්‍රා යොදා ගත් බව පැවසේ. එසේම මේ යාත්‍රා වල නිර්මාණ හිමිකරුවන් ගැන ඉතිහාසය අවිනිශ්චිත වන අතර අරාබින් හෝ ඉන්දියානුවන් විසින් මේවා නිපදවූ බව කියවේ. එහෙත් වැඩි දෙනෙකු අතර පවතින අදහසක් වන්නේ චීන ජාතිකයින් විසින් මෙම යාත්‍රා විශේෂය නිපදවූ බවයි. කෙසේ වුවද ක්‍රි.පූ 600 හා ක්‍රි. ව. 600 අතර කාලයේදී යේමන සහ ඕමාන ජාතිකයින් මෙවන් යාත්‍රා මිලදී ගැනීම සඳහා ඉන්දියාවේ කේරලයට පැමිණි බවටද තොරතුරු ඇත. තවද නැගෙනහිර අප්‍රිකානු රටවල හා අරාබි රටවල මුහුදු ප්‍රවාහන කටයුතු වලදී මෙන්ම, ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය වැනි රටවලද මෙම යාත්‍රා විශේෂය භාවිතා කරනු ලබයි. අදටත් අසල්වැසි ඕමානය හා අනෙකුත් අරාබි රටවලට ඩුබායි ක්රීක් හරහා මේ ඩෝ යාත්‍රා මගින් භාණ්ඩ ප්‍රවාහනය කිරීම, ඉතා සුලබ දසුනකි.

ඉතිහාසයේදී ඩුබායිහි තවත් ප්‍රධාන කර්මාන්තයක් වූයේ මුතු කිමිදිමයි. නිශ්චල වූ මුහුදු දියේ, දිය යට ගිලි අල්ලා ගන්නා මුතු බෙල්ලන්ගේ මුතු අලෙවි කිරීම මෙරට ජාතිකයින් විසින් සිදු කර ඇත. ඊට අමතරව මත්ස්‍ය කර්මාන්තයද දියුණු තත්වයක පැවතුනි. උණුසුම්, නිසල දියෙහි මසුන් වර්ග ගණනාවක් දැකිය හැකි වූ අතර එයද ඉතා දියුණු කර්මාන්තයක් විය. කෙසේ වුවද මේ ක්රීක් ජල මාර්ගය තුල විශාල යාත්‍රා ගමන් කල නොහැකි වීම, මෙහි වූ විශාලතම ගැටළුවක් විය. එනිසා මෙම ජලමාර්ගයෙන් උපරිම ප්රයෝජන ගැනීමේ අරමුණින් විශාල යාත්‍රා ගමන් කල හැකි වන පරිදි පුළුල් හා ගැඹුරු කිරීමටත්, බඩු භාණ්ඩ බෑම සහ පැටවීම සඳහා අවශ්ය පහසුකම් ඇතිකිරීමටත් පියවර ගන්නා ලදී. ඒ අනුව වර්ෂ 1955 දී සකස් කල සැලසුමකට අනුව මෙම ජලමාර්ගය ගැඹුරු කිරිමටත්, මුහුදු ඛාදනය වැලැක්වීම සඳහා දියකඩනයන් (breakwaters) ඉදිකිරීමටත්, ජලමාර්ගය දෙපස සෝදාපාළුව වැලැක්වීම සඳහා එහි ඉවුරු සැකසීමටත් පියවර ගැනුනි. එසේම එහි බඩු බෑම සහ පැටවීම සඳහා අදාළ කොටසෙහි පහසුකම් වැඩි දියුණු කිරීමටත් පියවර ගැනුනි. 1961 දී මුල්වරට මෙම ජලමාර්ගය කැනීම අරඹා එහි ගැඹුර වැඩි කරන ලදී. ඉන් අනතුරුව 1960 ගණන්වල අගභාගයේ හා 1970 ගණන් වල යලිදු කැනීම් මගින් මෙහි ගැඹුර වැඩි කොට ටොන් 500 දක්වා බරැති යාත්රා ගමන් කරවීම සඳහා ඉඩ සකස් කරන ලදී. මේ වැඩි දියුණු කිරීම් නිසා ඩුබායිහි මාර්ගවල තදබදය අඩු කිරීමටත්, අපනයන හා ප්‍රතිඅපනයන සඳහා වැඩි ඉඩක් සකස් කිරීමටත් හැකි විය.

බර් ඩුබායි හා ඩේරා කොටස මුල්වරට පාලමක් මගින් සම්බන්ධ වුයේ 1963 දිය. ඒ අල් මක්ටුම් පාලම (Al Maktoum Bridge) ඉදිකිර්මත් සමගිනි. මේ පාලම ඉදිකිරීමත් සමග ඩුබායිහි කොටස් දෙකම ගොඩබිමින් යාවුණු අතර, අද වනවිට අල් ගරුඩ් පාලම (Al Garhoud Bridge) , බිස්නස් බේ (Business Bay Crossing) හා පාවෙන පාලම (Floating Bridge) මගින්ද තවත් තැන් තුනකින් මේ කොටස් දෙක යාවී ඇත. (පාවෙන පාලමේ විශේෂත්වය වන්නේ රාත්‍රී දහයෙන් පසු උදෑසන හය දක්වා පාලමේ මැද කොටස විවෘතව නාවික ගමනාගමනය සඳහා ඉඩකඩ සැලසීමයි. එවිට වාහන ගමන් සඳහා පාලම වසා තැබේ. නැවත පසුදා උදයේ පාලමේ කොටස් දෙක සමබන්ධ කල පසු නැවත වාහන ගමනාගමනයට ඉඩ සැලසේ) අද වනවිට බර් ඩුබායි කොටස ඩේරා කොටසට සාපේක්ෂව වැඩි දියුණුවක් ලබා ඇති මුත්, ඩේරා කොටසද වාණිජමය වශයෙන් සුවිශාල දියුණුවක් ලබා ඇත. හයාත්, ටාජ්, මෙරිඩියන්, ෂෙරටන් වැනි ලොව ප්‍රකට හෝටල් දාමයන්ට අයත් හෝටල එකසිය හතලිහකට අධික ප්‍රමාණයක් ඩේරා කොටසෙහි පමණක් පිහිටා ඇත.



කෙසේ වුවද කෙතරම් දියුණු මාර්ග පද්ධතියක් තිබුනද බර් ඩුබායි සිට ඩේරා දක්වා යාමට සහ ඒමට යොදාගත හැකි ලාභම සහ පහසුම ගමන් මාර්ගය, ක්රීක් එක හරහා යාත්‍රා කරන ආබ්‍රා (Abra) නමින් හැඳින්වෙන කුඩා මෝටර් බෝට්ටුවක නැගී යන ගමනයි. ඩිරාම් එකක සුළු මුදලකින් මෙහි එක් පසෙක සිට අනෙක් පසට පහසුවෙන් යා හැකි අතර, වරකට 15-20 අතර ප්‍රමාණයකට මෙහි ගමන් කල හැක. උදෑසන සිට මධ්‍යම රාත්‍රිය ආසන්න වනතෙක් මේ බෝට්ටු සෑම විනාඩි තුනත් පහත් අතර පිටත්වේ. ග්‍රීෂ්ම සමයේ කෙසේ වුවත් අනෙක් කාලවල මෙහි ගමන ඉතා ප්‍රියජනකය. මිට අමතරව වායුසමනය කළ සාමාන්ය හා අධිවේගී බෝට්ටු සේවයක්ද මෙහි ක්‍රියාත්මක වේ. සංචාරකයින් සඳහා මෙහි විශේෂයෙන් සකස් කල බෝට්ටුවල පැය 2-3 අතර යාත්‍රා කරමින් රාත්‍රී ආහාරය ගැනීමේ පහසුකම් ඇති අතර, එය බොහෝ දෙනෙකුට සුවිශේෂී අත්දැකීමකි. සවස් කාලයේ හා සති අන්තවල බොහෝ දෙනෙකු ඇදී එන සුන්දර ස්ථාන අතරින් එකක් ලෙස ඩුබායි ක්‍රීක් හැඳින්විය හැක.

(ආබ්‍රා බෝට්ටුවකින් යන අතරතුර ගත් වීඩියෝවක් මෙහි පලකරමි. ඔබට එය නරඹා වැඩි අදහසක් ගත හැක.)

Sunday, October 2, 2016

<බර් ඩුබායි' හි බැංකු වීදිය>   

<Bank Street in Bur Dubai>


'බර් ඩුබායි' යනු ඩුබායිහි ප්‍රධානතම වෙළඳ හෙවත් වාණිජ ප්‍රදේශ වලින් එකකි. රට තුල වෙසෙන බොහෝ පිරිසක් සිය අවශ්‍යතා සපුරා ගැනීමට මෙම ප්‍රදේශයට පැමිණීම සිරිතකි. විශේෂයෙන් ලංකාවේ වාණිජ අගනුවර වන කොළඹ තුල ජනතාව භාණ්ඩ මිලදී ගැනීම සඳහා පිටකොටුවට පැමිනෙන්නක් මෙන්, ඩුබායිහි 'බර් ඩුබායි' වෙත නිරන්තරයෙන් ඇදී එති. කොළඹ නගරයේ සෑම තැනකදීම පාහේ අපට අවශ්‍ය දේ මිලදී ගත හැකි බව සත්‍යයකි. එහෙත් පිටකොටුව ආශ්‍රිත ප්‍රදේශය මේ බොහෝ දෙයක් තොග සහ සිල්ලරට මිලදී ගත හැකි ප්‍රදේශයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. කෑම බිම වල සිට වටිනා විදුලි උපකරණ දක්වා සියලු, එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා මිනිසුන් පිටකොටුවට ඇදෙන්නේ එහි ඇති පහසුව නිසාය. ඩුබායිහි ඇති බර් ඩුබායි ප්‍රදේශයද එවැනි ප්‍රදේශයකි. මුල් කාලයේ ඩුබායි දියුණු වන අවධියේ මිනිසුන් ඇදී ගියේ ඩේරා (Deira) යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශයටයි. අදටත් ඒ ප්‍රදේශයද ජනාකීර්ණ වෙළඳ ප්‍රදේශයකි. කෑම බීම, ඇඳුම් පැළඳුම්, විදුලි උපකරණ, පරිඝනක, දුරකථන, විදුලි සහ ගෑස් ලිප් ඇතුළු අනෙකුත් ගෘහ විදුලි උපකරණ, රත්‍රන් ආභරණ ඇතුළු විවිධ අවශ්‍යතා සඳහා ජනතාව දිනපතා දහස් ගණනින් බර් ඩුබායි වෙතත්, ඩේරා වෙතත් ඇදී එනු දැකිය හැක. ඒ ප්‍රදේශ වල වෙසෙන දහස් සංක්‍යාත පිරිසත් සමග ගත් විට මෙය ඉතා ජනාකීර්ණ නගරයක් වීම අරුමයක් නොවේ. මේ ප්‍රදේශය හා එහි කටයුතු ගැන මා ඉදිරි දිනයක එක් එක් අංශ වලින් වෙන වෙනම තොරතුරු ගෙන එන්නම්.

අද මා ඔබ වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ, මෙම බර් ඩුබායි හි පිහිටි ප්‍රධානතම වීදියක් ගැන තොරතුරුය. එය නමින් කාලිඩ් බින් අල් වලිඩ් (Khalid Bin Al Waleed Road) නම් වේ. එසේම එය බැංකු විදිය යන අරුත දෙන Bank Street ලෙසින්ද හැඳින්වේ. එසේ එය බැංකු විදිය යන අරුත දෙන වදනකින් හැඳින්වීමට මුලික හේතුව වී ඇත්තේ මෙරටෙහි ප්‍රධාන බැංකු බොහොමයකම පාහේ ශාඛා (branches) මෙහි පිහිටා තිබීමයි. එසේම මේ විදියේ පිහිටා ඇත්තේ බැංකු පමණක්ම නොවේ. සුපිරි වෙළඳ සැල් (supermarkets and hypermarkets), විශාල සාප්පු සංකීර්ණ (shopping malls), කුඩා ග්‍රොසරි මෙන්ම ෆාමසි, බොජුන්හල්, රෙස්ටුරන්ට්, මහා පරිමාණයේ රෙදිපිළි අලෙවි සැල්, ක්‍රීඩා භාණ්ඩ හා උපකරණ අලෙවිසැල්, කාපට් නැතහොත් බුමුතුරුණු අලෙවිසැල්, ඇස් කන්නාඩි අලෙවිසැල් මෙන්ම බලපත්‍ර ලාභින් සඳහා මත්පැන් අලෙවිසැලක්ද මෙහි පිහිටා ඇත. මිට අමතරව තරු පන්තියේ හෝටල කිහිපයක්ද මෙහි ඇත. ව්‍යායාම් මධ්‍යස්ථාන (gym), රුපලාවන්‍යාගාර සහ ආරෝග්‍යශාලාවන්ද (clinics) මෙහි පිහිටා තිබිම නිසා ජනතාවට වඩාත් පහසු වී ඇත. මෙහි පිහිටුවා ඇති බැංකු වලට අමතරව මුදල් හුවමාරු කිරීමේ මධ්‍යස්ථාන (money exchange) ගණනාවක්ද ඇත. මිට අමතරව තවත් කුඩා ව්‍යාපාර රාශියක්ද, කාර්යාල ගොඩනැගිලි හා කාර්යාල ගණනාවක්ද මෙහි ඇත.

බෑන්ක් මෙල්ලි ඉරාන් (Bank Melli Iran), එමිරේට්ස් ඉස්ලාමික් (Emirates Islamic), අබුඩාබි වාණිජ බැංකුව (Abu Dhabi Commercial Bank (ADCB)) හබීබ් බෑන්ක් සුරීච් බැංකුව (Habib Bank AG Zurich) හබීබ් බැංකුව (Habib Bank Limited (HBL)), බෑන්ක් සඩරේට් ඉරාන් ( Bank Saderat Iran), යූ. බී. එල් බැංකුව (UBL bank), සිටි බැංකුව (Citi Bank), යුනියන් නැෂනල් බැංකුව (UNB Bank), එමිරේට්ස් එන්. බී. ඩී බැංකුව (Emirates NBD Bank), ඩුබායි ඉස්ලාමික් බැංකුව (Dubai Islamic Bank), රසල් කයිමා (රක්) බැංකුව (RAK Bank), අබුඩාබි ජාතික බැංකුව (National Bank of Abu Dhabi), ස්ටෑන්ඩ්ඩඩ් චාටඩ් බැංකුව (Standard Chartered Bank), මශ්රෙක් බැංකුව (Mashreq Bank), ෆුජේරා ජාතික බැංකුව (National Bank of Fujairah), ෆස්ට් ගල්ෆ් බැංකුව (First Gulf Bank), උමල් කුවේන් ජාතික බැංකුව (National Bank of Umm Al Quwain (NBQ)), ඩුබායි වාණිජ බැංකුව (Commercial Bank of Dubai (CBD)), ජාත්‍යන්තර වාණිජ බැංකුව (Commercial Bank International (CBI)), අල් හිලාල් බැංකුව (Al Hilal Bank) සහ අබුඩාබි ඉස්ලාමික් බැංකුව (Abu Dhabi Islamic Bank (ADIB)) යන මේ සියලුම බැංකුවල ශාඛාවන් මෙම විදිය නැතහොත් මාවත ආශ්‍රිතව පිහිටා ඇතැයි පැවසුවහොත් සමහරවිට ඔබ පුදුම වන්නටත් ඉඩ ඇත. මෙයට අමතරව මා ඉහත සඳහන් කලාක් මෙන් අල් රොස්තමානි, යූ.ඒ.ඊ., අල් ගුරේර්, අල් ගුරේර් සිටි, වෝල් ස්ට්‍රීට්, අල් අන්සාරි වැනි මුදල් හුවමාරු මධ්‍යස්ථාන (money exchange) රාශියක්ද මෙහි පිහිටා ඇත. රමාඩා, හොලිඩේ ඉන්, ෂෙරටන් ඇතුළු සුපිරි පන්තියේ තවත් හෝටල ගණනාවක් මෙහි ඇත. ලොව ඕනෑම රටකට ගුවන් ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි ප්‍රවේශ පත්‍ර කාර්යාලද (ticketing office), ගුවන් සේවා කාර්යාලද (Airline Office) මේ ආශ්‍රිතව පිහිටා ඇත. ශ්‍රී ලංකාවේ, ශ්‍රී ලන්කන් ගුවන් ප්‍රවේශ පත්‍ර කාර්යාලයද පිහිටා ඇත්තේ මේ ආසන්නයේය. තවද ඩුබායි මෙට්‍රෝහි රතු සහ කොළ මාර්ග (Red & Green Line) දෙක එකට හමුවන ස්ථානයද මේ විදියේ කොනක පිහිටා ඇති නිසා, මේ මාර්ගය අසල පදිංචි ඒවා භාවිතා කරන්නන්ටද ඉතා පහසුවක් වී ඇත. එසේම මේ මාර්ගය දෙපස සුපිරි නිවාස සංකීර්ණ (apartments) රාශියක්ද පිහිටා ඇත. ඩුබායිහි විදේශ කටයුතු අමාත්‍යංශ ගොඩනැගිල්ලද, විදේශ තානාපති කාර්යාල රාශියක්ද, පාසැල් හා ළමා අධ්‍යාපන ආයතන (nursery) කිහිපයක්ද, තවත් රජයේ ආයතන කිහිපයක්ද මේ ආසන්නයේ පිහිටා ඇත. (ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය පිහිටා ඇත්තේ නම් මින් හැරී යන මන්කූල් පාරෙහිය.) (Mankhool Road)




Bank Street හෙවත් බැංකු විදිය ගැන ඔබට යම් අවබෝධයක් මේ ලිපිය තුලින් ලැබෙන්නට ඇතැයි මම සිතමි. ඩුබායිහි තවත් ලස්සන තැනක් ගැන තොරතුරු ඉදිරි දිනෙක ගෙන එන්නම්. මේ සමග එම වීදියෙහි කුඩා වීඩියෝවක් පලකොට ඇත. එයද ඔබගේ රසවින්දනයට හේතු වනු ඇතැයි සිතමි.

Saturday, October 1, 2016


<බර්ජ් ඛලීෆා - ඩුබායි මෝල් අවට ප්‍රදේශය>   

<Surrounding of Burj Khalifa - Dubai Mall>


සිකුරාදා දිනය යනු මැදපෙරදිග සිටින අපට සුවිශේෂී දිනයකි. ශ්‍රී ලාංකිකයිනට හා අනෙකුත් බොහෝ රටවල අයට ඉරිදා දිනය මෙන්, මැදපෙරදිග කලාපයේ බොහෝ දෙනෙකුට සිකුරාදා දිනය, සිය සති අන්ත නිවාඩු දිනයයි. එහෙත් ඒ නිවාඩු දිනයේ ලංකාවේ මෙන් සියලු කඩසාප්පු වසා දමා, පාරවල් පාලුවට යන්නේ නැත. උදේ වරුව නම්, යම් පමණකට ජනතාව කල එලි බැසීම අඩු නමුදු, දිවා ආහාරයෙන් පසු නැවතත් මහා මාර්ග ජනාකීර්ණ වේ. සවස් වන විට මාර්ග තදබදය බොහෝ ඉහල යන්නේ, හැම කෙනෙක්ම පාහේ නොයෙක් ගමන් බිමන් වල යෙදෙන හෙයිනි. පවුල් වශයෙන් පදිංචි වී සිටින අරාබි ජාතිකයින්, ආසියාතිකයින් මෙන්ම වෙනත් ජාතීන්ද, සිය පවුලේ අය සමග කල එලි බසිනු දක්නට ලැබේ. තනිකඩයින්ද අනෙක් සිය මිතුරන් සමග හෝ, තනියම හෝ ඇවිදින්නට යාම පුරුද්දක් මෙන් කරති. මුහුදු වෙරල, උද්‍යාන, සිනමා ශාලා, සමාජ ශාලා (clubs), සාප්පු සංකීර්ණ, අවන්හල්, සංගීත සන්ද්‍යාවන්වල මෙන්ම තවත් බොහෝ තැන් වල Dubai හි වෙසෙන ජනතාව එක් රොක් වී සිටිනු දැකිය හැක. රජයේ හා සමහර ආයතන වල පමණක් සෙනසුරාදා දිනයද නිවාඩු වන අතර අනෙක් අයට සෙනසුරාදා දිනය, සතියේ වැඩකරන පළමු දිනය වේ.

මේ වර සති අන්තයේ අප පිය නැගුවේ, මින් පෙරද අප කිහිප වරක් පා නැගූ පෙදෙසකටය. මින් පෙර අප එහි යනවිටට වඩා, අප මෙවර එහි ඉතා සුවිශාල වෙනසක් දුටුවේය. මින් පෙර යනවිටත් ඒ පෙදෙස හා මාර්ගය හොඳින් නඩත්තු කොට තිබෙනු දුටුවද, මෙවර අප එහි යනවිට දුටු දසුන ඉතා වෙනස්ය. ඒ අන් පෙදෙසක් නොව Dubai හි පාලක ෂේක්වරයාගේ මාලිගයට පිවිසෙන ප්‍රධාන දොරටුව අසල ප්‍රදේශයයි. මේ ප්‍රදේශය ඉතා මනරම් අයුරින් සකස් කොට තිබෙනු මෙවර අපට දැක ගත හැකි විය. කාන්තාර රටක් යයි සිතාගනිමටවත් නොහැකි ආකාරයෙන් තණකොළ, මල් වර්ග මෙන්ම රටඉඳි ගස් වවා අලංකාර කොට තිබු භුමියෙහි, විදේශ සංචාරකයින් සිය ගණනක් ගැවසෙනු අපට දැක ගත හැකිවිය. අලංකාර සිමෙන්ති ගල් අල්ලා තිබු භුමියෙහි පසෙක, රථවාහන නැවත්වීම සඳහා කොටසක් වෙන් කොට තිබුණි. මින් පෙර අප මෙහි පැමිණෙන විට මේ ප්‍රදේශයේ රූස්ස ගස් සිටුවා තිබුණු නමුදු, දැන් ඒ ගස් ඉවත් කොට භුමිය වඩා විවෘත ප්‍රදේශයක් බවට පත් කොට තිබුණි.
මීටත් වඩා වැදගත් දෙයක් එහි දක්නට තිබුණි. බොහෝ දෙනා මෙහි පැමිණෙන්නේද ඒ අලංකාර දර්ශනය දැක ගැනීමේ ආශාවෙන් බව අමුතුවෙන් සඳහන් කල යුතු නොවේ. එනම්, 50 කට අධික වූ, නිදැල්ලේ මේ අවට සැරිසරන මොනරුන් දැක ගැනීමේ ආශාව සංසිඳවා ගැනීමේ අටියෙනි. Dubai හිදී එකම තැනකදී නිදැල්ලේ සැරිසරන වැඩිම මොනරුන් දැක ගත හැක්කේ මේ ස්ථානයේදී පමණි. එසේම අඩි දෙක තුනක් දක්වා මොනරෙකුට ලංවී සිටීමටද මෙහිදී හැක. ලංකාවේදී යාල උද්‍යානයේදී හැර මෙතරම් මොනරුන් පිරිසක් එකම තැනකදී දැක ගත හැකි, වෙනත් තැනක් සිතා ගැනීමට වත් නොහැක. ඒ අනුව මේ සුන්දර දර්ශනය ඉතා දැකුම්කලුය. මේ සෑම දෙයක්ම මෙතරම් අලංකාර ලෙස සකසා ඇත්තේ, මෙහි වෙසෙන ජනතාවට ඒවා දැක බලාගෙන විනෝද වීම පිණිසය. එසේම මෙහි ආරක්ෂාවට සිටින පොලිසියේ නිලධාරින් ලංකාවේ මෙන් අවි අත දරා නොසිටින අතර, කිසිදු විටෙක අප රටේ මෙන් පරුෂ වචනයෙන් කෑ අඬ ගසනු දැකිය නොහැක. රටේ ප්‍රධානියාගේ මාලිගය අසල වුව ජනතාවට ඉතා සැනසිල්ලේ සිටිය හැකි තත්වයක් මෙහි පවතී.

මේ විඩියෝවෙහි ඉතා ඈතින් දිස්වන්නේ ලොව උසම ගොඩනැගිල්ල වන බර්ජ් ඛලීෆා (Burj Khalifa) ගොඩනැගිල්ලයි. තවද ඉතා අලංකාර ලෙසින් ඈතින් දිස්වන්නේ මාලිගයට පිවිසෙන මාර්ගයේ වූ ප්‍රධාන පිවිසුමයි. ඩුබායි පොලීසියෙන් රැකවල් ලා ඇති හෙයින් අපට ඒ අසලට යා නොහැකි වුවද දුරසිට ඒ ස්ථාන කැමරාවේ සටහන් කිරීමට මට හැකි විය. එසේම ඒ අවට වූ තවත් විශාල ගොඩනැගිලි කිහිපයක් මෙහිදී දැක ගත හැක. සුන්දර සන්ද්‍යාවක, හිරු බැස යන මොහොතක මේ සොඳුරු දසුන මගේ කැමරාවේ සටහන් වුයේද, එහි වූ චමත්කාර බව නිසාමය. ඔබද මේ සොඳුරු දසුන ආශාවෙන් නරඹනු ඇතැයි මම සිතමි.