Monday, October 10, 2016

<'ඩිබ්බා' ගමන>    - ඉතිරි කොටස (මුල් කොටස 07/10/2016 දින පළකර ඇත.)


'මසාෆි' නගරය පසු කල අපි 'ඩිබ්බා' දෙසට වැටී ඇති මාර්ගය දිගේ ඉදිරියට ඇදුනෙමු. පසුගිය දිනවල වූ සෞම්‍ය කාලගුණය දැන් ක්‍රමයෙන් පහ වෙමින් පවතී. පරිසරයේ පවතින උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහල යමින් පවතින නමුදු, තවමත් ඉවසා දරා ගත නොහැකි උණුසුමක් නැත. පරිසරයේ උණුසුමත්, ගමනේ වේගයත් නිසා රථය උණුසුම් වුවද, වා සැකසුම් නිසා ඇතුලත සිටින අයට අපහසුවක් නැත. කෙසේ වුවද 'මසාෆි' වල මදක් ගිමන් නිවු අපි, හැකි ඉක්මනින් 'ඩිබ්බා' බලා යාමට සිතුවේ, මුහුදු වතුරේ ගිලී, සියලු වෙහෙස නිවා ගැනීමේ අරමුණෙනි.

තවත් මද වේලාවකට පසුව අපට එහි ලඟා වීමට හැකි විය. තරු පන්තියේ හෝටල ගණනාවක් මුහුදු වෙරළ තීරයට යාබදව ඉදිවී ඇති අතර, තවත් හෝටලයක් දෙකක් ඉදිවෙමින් පවතිනුද දැකිය හැකි විය. ඒවා පසුකරගෙන ඉදිරියට ගිය අපට මුහුදු වෙරළෙහි වූ කුඩා ගස් යට නතරවී දිවා ආහාරය ගන්නා බොහෝ පිරිස් දැකගත හැකි විය. එසේ වුවද අපේ බලාපොරොත්තුව වූ ස්නානය සඳහා සුදුසු තැනක් අපට හමුවුයේ නැත. එනිසා ක්ෂණික තීරණයක් මත එතැන් සිට කොර්ෆකාන් (Khorfakkan) නගරය දෙසට යෑමට අපි තීරණය කළෙමු. ඒ අනුව තවත් දුරක් ගෙවා එහි ලඟා වීමට අපට හැකිවිය.

'කොර්ෆකාන්' නගරයද තරමක් විශාල නගරයකි. එහෙත් අප එහි ඇතුලට යාමට උත්සාහ කලේ නැත. මන්ද නගරයට පිවිසෙන විටම වාගේ අපේ නෙත ගැටුණු මනරම් මුහුදු තිරය නිසාවෙනි. එනිසා තවදුරටත් ඉදිරියට නොගොස්, රථ නවතා අප ඒ අසල වූ උද්‍යානයක් බඳු කොටසට ඇතුළු වීමු. එය සුවිසල් ගසින් සෙවන වුනු මනරම් උද්‍යානයකි. මේ වනවිට 'බඩ පනුවන් සෙමෙන් සෙමෙන් සිය බොක්සිං සංග්‍රාමය' අරඹා තිබු නිසා අපට වෙනත් විකල්පයක් නොමැති විය. එනිසා උද්‍යානයේ සෙවනැති ගසක් පාමුල, නිවසින් රැගෙන ගිය 'ඉටි පැදුරු' එලාගත් අපි සැවොම සප්පායම් වීම ඇරඹුවෙමු. මොහොතකින් කෙසෙල් කොලයේ සුවඳ දැවටුණු රසවත් බත් පත බැගින් අප සියලු දෙනා අතර බෙදී ගියේය. අප හට එය රසවත් ආහාරයක්ම විය.



කෑමෙන් අනතුරුව තවත් මොහොතක් පැදුරෙහිම වාඩිවී අල්ලාප සල්ලාපයේ යෙදෙමින් විවේක ගත්තේ, තවත් සොඳුරු අත්දැකීමක් පිලිබඳ සැලසුම් කරමිනි. මේ වන විටත් අප වැනිම සිය ගණනක් වූ තවත් සංචාරක පිරිස් උද්‍යානයේ තවත් නොයෙක් තැන්වල හිඳගෙන ආහාර ගනිමින් හා විවේක සුවයෙන් පසු විය. මිට අමතරව තව බොහෝ දෙනෙක් මුහුදු දියෙහි ගිලෙමින් සතුටු වෙමින් සිටියහ. විවිධ රටවල, විවිධ ජාතිකයින් බොහෝ පිරිසක් ඒ අතර විය. මෙම වෙරළ තීරයේදී දැකිය හැකිවූ තවත් සුවිශේෂී වූ අංගයන් ගණනාවක් විය. ඒ අතර වූ ත්‍රාසජනක අංගයක් වුයේ මෝටර් බෝට්ටුවකට බැඳී 'පැරිචුටයක' (parachute) නැගී ගමන් කිරීමයි. මුදල් ගෙවා එහි සතුට ලැබීමට, කැමති කෙනෙකුට හැකිවිය. එසේම 'වෝටර් ස්කූටර්' (water scooter) පැදිමටද එහි පහසුකම් තිබුණි. මිට අමතරව මුදල් ගෙවා බෝට්ටුවෙන් විනාඩි තිහක පමණ කාලයක් මුහුද දෙසට යාත්‍රා කිරීමටද අවස්තාව තිබුණි. කුඩා දරුවනට සෙල්ලම් කිරීම සඳහා වෙරළෙහි ඔන්චිල්ලා සහ සීසෝ ඉදිකර තිබුණි. අප සියල්ලන්ම කැමති වුයේ මේ සියල්ල අතරින් මුහුදු ගමනේ සතුට විඳීමටයි. එනිසා මඳ වෙලාවක් විවේක ගැනීමෙන් අනතුරුව අපි මුදල් ගෙවා බෝට්ටුවකට ගොඩ වීමු. බෝට්ටුව පැදෙව්වේ ඉන්දියන් ජාතිකයෙකු විසිනි. මද දුරක් යනවිට හින්දි සින්දු වාදනය වීම ඇරඹුණි. මුහුදෙන් හමන සුළඟ සියලු වෙහෙස නිවාලීය. පැද්දි පැද්දී බෝට්ටුවේ යන ගමන, සිහියට නැංවූයේ, රූබර ලලනාවකගේ නාරි ලාලිත්‍යයකි. නිල්වන් මුහුදු දිය දෙබෑ කර, කිරි පැහැති පෙන පිඩු නංවමින් බෝට්ටුව ඉදිරියට ඇදෙන විට ඈතින් වූ කඳුපෙළ මනරම් දසුනක් මැවීය. ඉතා කුඩා වරායක් එහි පිහිටා තිබු අතර, ඒ පිටුපස වූ කඳු වලින් වටවූ දුපතට ගිය අපි නැවත හැරී ආවෙමු. අඩ පැයකට ආසන්නවූ බෝට්ටුවේ ගමන ඉතා සතුටුදායක මතකයක් සිත තුල රැඳවීමට සමත් විය. (මීට අදාළ වීඩියෝ දෙකක් මම වෙනම පලකරමි. කැමති කෙනෙකුට ඒවා නැරඹිය හැක.)

ගොඩ බිමට පැමිණි අප ඉන්පසු කලේ ඒ සිතල මුහුදු වතුරේ ගිලීම සඳහා සුදානම් වීමයි. ඩුබායිහිදීද දිනපතා නා පිරිසිදු වන නිසා ඇඟේ කුණු නොමතිවුවද, මේ මුහුදු තිරයේ ගිලීමට පෙරේත කමක් සිත තුල ඇති වුවේ, එහි සුව පහසු බව ගතට මෙන්ම සිතටද විඳ ගැනීමේ ආශාවෙනි. කෙසේ වුවද මෙහිදීද යමක් කිව යුතුය. ඩුබායිහි මුහුදු වෙරල තීරවල (open beach) කාන්තා, පිරිමි සැවොම නාන ඇඳුමින් සැරසී ස්නානය කලද, මේ ප්‍රදේශයේදී තරමක් ඇඟ වැසෙන ඇඳුමකින් සැරසී එය කලයුතු විය. මුස්ලිම් රටක් වූ හෙයින් අප එම සංස්කෘතියටද ගරු කල යුතු අතර, එසේ හෝ ජනතාවට සතුටු වීමට ඉඩ සලසා දීම ගැන අප මෙම පාලකයිනට ස්තුතිවන්ත විය යුතුය. බොහෝ වේලා දියේ ගිලෙමින් සිත් සතුටු වීමට අපට හැකිවිය. බැස යමින් පැවති හිරු අපහට මතක් කරමින් සිටියේ, අපට නැවතත් කි.මී. සිය ගණනක් ගෙවා ඩුබායි බලා යා යුතු බවයි. එනිසා අකමැත්තෙන් වුවද මුහුදු දියෙන් ගොඩ ආ අප, ඇඳුම් මාරුකර, අසල වූ ආපනශාලාවකට ගොස් තේ පානය කළෙමු.

හිරු කෙමෙන් කෙමෙන් බටහිර අහසේ රන්වන් පැහැය තවරමින් සිටියේය. අපට තවත් එහි රැඳෙන්නට ඉඩක් නොමැත. අකමැත්තෙන් වුවද මේ සුන්දර නගරයත්, වෙරළ තිරයත් අතහැර දමා අප ආපසු යා යුතුය. එනිසා යලිදු දිනෙක මේ සුන්දර භූමියට පැමිණෙන තෙක් අප නැවත ඩුබායි බලා ගමන් ඇරඹුවෙමු. අප සමුගෙන ගිය ශෝකයටදෝ, හිරුද බටහිර අහසේ කෙලවරකින් සිය එලිය නිවා දමා සැඟව යනු අපට දැක ගත හැකිවිය.