Saturday, March 25, 2017

ඩුබායිහිදී දසවන වරට සමරන මිහිකත පැය 




මිහිකත පැය හෙවත් Earth Hour ගැන සමහරවිට ඔබ අසා ඇති. සෑම වසරකම මාර්තු මස 25 වන දින රාත්‍රී 8.30 ත් 9.30 ත් අතරතුරදී, අනවශ්‍ය විදුලි පහන් නිවා දමමින්, ලොව දේශගුණ විපර්යාසයන් ගැන මහජනතාවගේ අවධානය යොමු කිරීම, මේ වැඩසටහන මගින් සිදු කරනු ලැබේ. වර්ෂ 2008 දී ඇරඹි මේ වැඩසටහනේ ආරම්භයේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, විශේෂයෙන් ඩුබායි හිදී මේ වැඩසටහන ක්‍රියාත්මක වූ බව සඳහන් කල යුතුය. අද දිනයේදීද දසවන වරටත් මේ මිහිකත පැය සැමරීම සඳහා සහභාගී වන, ලොව පුරා රටවල් ගණනාවක නගර 7000 ආසන්න ප්‍රමාණය තුලට, ඩුබායිද ඇතුලත් වන බව සිහිපත් කල යුතුය.

අද දිනයේදී ඩුබායිහිදී සිදුකෙරෙන මේ මිහිකත පැය සැමරීමේ වැඩසටහන් අතර සුවිශේෂ තැනක් ගනු ලබන්නේ, ලොව උසම ගොඩනැගිල්ල වන බර්ජ් ඛලීෆා (Burj Khalifa) ගොඩනැගිල්ලෙහිද විදුලි පහන් මේ මොහොතේ නිවා දැමීමයි. ඊට අමතරව රටපුරා පිහිටි සුවිශේෂී ගොඩනැගිලි කිහිපයක් වන, ෂේක් සයේඩ් මහා පල්ලිය, තරු හතේ හෝටලයක් ලෙස සැලකෙන බර්ජ් අල් ඇරෑබ් හෝටලය, රැෆල්ස් හෝටලය, එතිහාඩ් කුළුණු ඇතුළු තවත් ප්‍රධාන ගොඩනැගිලි ගණනාවක්ද, රජයේ ගොඩනැගිලි ගණනාවක්ද මේ මොහොතේ අඳුරු වනු ඇති. එසේම රජයේ ඉල්ලීම මත තවත් නිවාස හා කාර්යාල දහස් ගණනක් මේ වැඩසටහනට එකතු වනු ඇති. මිට අමතරව ඩුබායිහි මහාමාර්ගවල ඇති විදුලි පහන්කනු 1,393 ද, තෝරාගත් විදි ගණනාවකද, මෙට්‍රෝ ස්ථාන කිහිපයක තෝරාගත් විදුලි පද්ධතින්ද විසන්ධි කෙරෙනු ඇත. 

මේ මිහිකත පැය මෙතරම් වැදගත් වන්නේ ඇයි....? මුලින්ම සඳහන් කල යුත්තේ මෙය සංකේතාත්මක වැඩසටහනක් පමණි. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන ලෝක පාරිසරික වෙනස්වීම් ගැන අවධානය යොමු කිරීම මේ මගින් අපේක්ෂා කෙරේ. කෙසේ වුවද මෙය බලශක්ති ප්‍රභවයන් ඉතිරි කරගැනීම සඳහා හෝ පරිසරයට මුදා හැරෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩුකර ගැනීමේ වැඩසටහනක් නොවන බවද සඳහන් කල යුතුය. කෙසේ වුවද මේ සංකේත පැය මගින් සිදුවන ප්‍රතිපලයන් විමසා බැලුවහොත් ඔබ පුදුමයට පත් වනු නිසැකය. උදාහරණයක් වශයෙන් පැහැදිලි කළහොත්, පසුගිය වසර නවය තුල ඩුබායිහි මේ මිහිකත පැය සැමරූ පැය නවය තුල පමණක් ඉතිරි කරගෙන ඇති විදුලි බල ප්‍රමාණය, මෙගා වොට් පැය 1,596 පමණ වේ. එසේම පරිසරයට නිකුත් වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 958,000 කින් අඩු වීමකි. මෙය වෙනත් ලෙසකින් සලකා බැලුවහොත් මේ මගින් ඉතිරිවූ විදුලි බලය, නිවාස ලක්ෂ හතරකට වසරක් පුරා විදුලිය ලබා දීම සඳහා ප්‍රමාණවත් වන තරමේ විශාල අගයකි. එසේම පරිසරයට නිකුත්වීම වැළකුණු කාබන් ප්‍රමාණය, මගී වාහන 202 කින් වසරක් පුරා පරිසරයට නිකුත්වන කාබන් ප්‍රමාණයට සමානය. මේ අනුව පැයක සංකේතයක් මගින් අප විසින් පරිසරයට හා දේශගුණික වෙනස් කම් වැලක්වීමට ලබාදී ඇති දායකත්වය කොපමණ විශාලද....? 

මිහිකත පැය එක දිනයකට සිමා වුවද, දිනපතා අනවශ්‍ය විදුලි පහන් හා විදුලි උපකරණ නිවා දැමීම මගින්, අපට ආර්ථිකමය වශයෙන් වාසියක් හිමිවන අතර, පරිසරය ආරක්ෂා කරගැනීමටද ඉන් මහඟු පිටුබලයක් අත් වේ. අනාගත පරපුර වෙනුවෙන් අපි අදම, මේ ගැන අපේ අවධානය යොමු කරමු.