Saturday, December 30, 2017

ලොව උසම ගොඩනැගිල්ලේ, වසර අවසාන මල්වෙඩි සංදර්ශනය

2017 වසර ගෙවී යන්න තව ඇත්තේ සුළු කාලයක්. 2018 නවමු වසර පිළිගන්න බොහෝ දෙනා ඇඟිලි ගනිමින් සිටිනවා. වසරක් අවසන් වී තවත් වසරක් උදාවනු දකින අප බෙහෙවින් පින්වන්තයින්. මන්ද අප ඒ වසර තුල ජීවත්වී, ඊලඟ වසරටත් පා නැගීමේ හැකියාව ලැබූ අය වීම නිසයි. ගෙවී යන වසරේ අවසන් දිනයේ බොහෝ දෙනා විවිධ අයුරින් සතුටු වනු දැකිය හැකියි. ජිවත්වන රටින් හෝ ප්‍රදේශයෙන් පිටවී වෙනත් ප්‍රදේශයක හෝ රටක සංචාරය කිරීම, ක්‍රීඩා වල නිරතවීම, අලුත් වැඩකටයුතු ආරම්භ කිරීම වැනි විවිධ කටයුතු තුලින්, විනෝද වීමට බොහෝ දෙනා පුරුදුව සිටිනවා. මම අද මේ ලිපිය මගින් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන්නේ, ඩුබායිහි පිහිටි ලොව උසම ගොඩනැගිල්ල වසර අවසාන දිනයේ, එනම් දෙසැම්බර් මස තිස් එක් වන දින මධ්‍යම රාත්‍රියේ මල්වෙඩි සංදර්ශන වලින් ආලෝකමත් වන ආකාරය පිළිබඳවයි. 

ලොව උසම ගොඩනැගිල්ල වන බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ල පිහිටා තිබෙන්නේ ඩුබායිහි බව ඔබ බොහෝ දෙනෙකුන් දන්නා බවට කිසිදු සැකයක් නැහැ. මෙම ගොඩනැගිල්ල විවෘත කල වසරේ සිට, සෑම වසරකම අවසානයේ ඉතාමත් අලංකාර මල්වෙඩි සංදර්ශනයක් මෙම ගොඩනැගිල්ලෙහි පැවැත්වීම සිදු කොට තිබෙනවා. හරියටම නව වසර උදාවත් සමග ආරම්භ වන මේ ඉතා අලංකාර මල්වෙඩි සංදර්ශනය නැරඹීමට ඩුබායි පමණක් නොව, එකසත් අරාබි එමීර් රාජ්‍යයේ අනෙකුත් එමීර් හයෙහිම ජනතාව ප්‍රිය කරන බව සඳහන් කල යුතුව තිබෙනවා. ඊට අමතරව, මැද පෙරදිග අනෙකුත් රටවලින් මෙන්ම, ලොව පුරා විවිධ ධන කුවේරයන්ද මේ අවස්තාව දැක ගැනීම සඳහා ඩුබායි වෙත පැමිණෙන බව රහසක් නොවේ. මීටර් අටසියයකට වඩා උස, එනම් කිලෝමීටරයකට ආසන්න උසකින් යුතු ගොඩනැගිල්ලක මහලෙන් මහලට විවිධ රටා මවමින් මල්වෙඩි පුපුරා යන අයුරු ඉතා දර්ශනීය බව අමුතුවෙන් කිව යුතු නොවේ.

රට තුල වෙසෙන විවිධ රටවල, විවිධ ජාතිකයින්ට අයත් පිරිස් මේ අවස්තාව දැක ගැනීම සඳහා දෙසැම්බර් තිස් එක් වන දින කල්වේලා ඇතිව සුදානම් වනවා. ඉන් සමහර දෙනෙක් කල් ඇතිවම මේ දර්ශනය හොඳින් දිස්වන ප්‍රදේශ වල නතරව සිටින අතර, තවත් පිරිසක් එය හොඳින්ම දර්ශනය වන ප්‍රදේශ කරා එක්රොක් වනවා. කෙසේ වුවත් හවස හය පමනවනවිට මේ ගොඩනැගිල්ල පිහිටි ප්‍රදේශය වාහනයකින් තබා, පයින්වත් යා නොහැකි ලෙස ජනතාවගෙන් පිරි ඉතිරි යනවා. ඒ සැවොම මේ සුන්දර දර්ශනය දැකීමට දක්වන ප්‍රියතාවය නිසයි. 

හරියටම මධ්‍යම රාත්‍රී දොළහට ඇරඹෙන මල් වෙඩි සංදර්ශනය විනාඩි පහත් දහයත් අතර කාලයක් පවතිනවා. සෑම වසරකම පෙර වසරට වඩා නැවුම් හා සිත්ගන්නා අයුරින් මේ සංදර්ශනය පැවැත්වීම කැපී පෙනෙන්නක්. තවත් සඳහන් කල යුතු කරුණක් තිබෙනවා. ඒ තමයි, මේ දිනයට අමතරව අනෙකුත් දිනවලද ලොව සුවිශේෂී අවස්තාවන් සැමරීම සඳහා මේ ගොඩනැගිල්ල විවිධ ආලෝක වර්ණයන්ගෙන් සැරසීම. විවිධ රටවල ජාතික කොඩි, සංකේත හා අනෙකුත් සුවිශේෂී දේවල් ඉතා නිර්මාණාත්මකව හා කලාත්මකව විවිධ ආලෝක රටා මගින් මේ සුවිශාල ගොඩනැගිල්ල මත රටා මවන්නේ විශ්මිත ආකාරයටයි.

මේ සමග පසුගිය 2016 දෙසැම්බර් තිස් එක් වනදින මා විසින් රූ ගත කල එම මල්වෙඩි සංදර්ශනයේ වීඩියෝවක් අමුණා තිබෙනවා. කෙසේ වුවද පියවි නෙතින් දකින සුන්දරත්වය මේ තුලින් දැකිය නොහැකියි. එහෙත් ඔබගේ දැනගැනීම සඳහා පමණක් මා එය මේ සමග අමුණා තිබෙනවා. 

යලිත් ඩුබායිහි තොරතුරු රැගෙන මේ තුලින් හමු වෙන්නම්. ඔබට කැමතිනම් මෙහි ඇති Subscribe නමැති බොත්තම ඔබා ඔබගේ ඊමේල් ලිපිනය ඇතුලත් කිරීමෙන් මෙහි ලිපියක් පළවූ සැනින් දැනගැනීමේ හැකියාව පවතිනවා. එසේම මින් පෙර මා පලකල ලිපි කියවිමටද මේ පිටුව භාවිතා කල හැකියි.

ඔබ සැමට ජය හා සතුට පිරි, සියලු පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා....!