Friday, September 21, 2018

බෝට්ටු සවාරිය හා භෝජන සංග්‍රහය (Dhow Cruise Dinner)

ඩුබායි යනු සංචාරක පාරාදීසයක් බව ඔබ සියලු දෙනා දන්නා කරුණක්. මිට ප්‍රථම මා විසින් එහි බොහෝ තැන් ගැන බොහෝ ලිපි පළකර ඇත. ඔබට අවැසි නම්, ඒ ලිපි මාගේ බ්ලොගය තුලින්ද කියවා බැලිය හැක. ( nomadstravelnotes.blogspot.com )  Dubai Creek යන්න කවරක්ද යන්න ගැනත් මේ බ්ලොග් එක තුලින් කියවා බැලිය හැක.)  වසරකට මිලියන ගණනක් සංචාරකයින් පැමිණෙන ඩුබායිහි, තවත් රසවත් තැනක් ගැන මේ ලිපියෙන් තොරතුරු ඉදිරිපත් කරන්නම්.

ඩුබායිහි සංචාරය කරන අය අතර මූලික වශයෙන් ප්‍රචලිත ක්‍රියාකාරකම් තුනක් පවතිනවා. ඒවා 3D යනුවෙන් හැඳින්වෙනවා. ඉන් එකක් වන්නේ Dhow cruise dinner යන්නයි. Dhow යනු දැවයෙන් නිමකළ, විශාල ප්‍රමාණයේ බෝට්ටුවකි. ඇන්ජිමක් මගින් ධාවනය වන මෙහි බොහෝ පිරිසකට ගමන් කල හැකියි. විශේෂත්වය වන්නේ, මෙය තට්ටු දෙකකට නිර්මාණය කර තිබීමයි. එහි පහත කොටස වීදුරු කවුළු යොදා, වායුසමනය කොට ඇති අතර, ඉහල කොටස සමහරෙක විවෘතවත්, සමහරෙක වහලයකින් ආවරණය සහිතවත් සකස් කොට ඇත. එසේම ඉහල මහල වායුසමනය කල හා නොකළ වශයෙන්ද වර්ග කල හැක. කෙසේ වුවද ඉහල මහලක ගමන් කරන අයට, පහත මහලට වඩා හොඳින් Creek එක සහ ඒ අවට නැරඹීමේ හැකියාව පවතින බව අමුතුවෙන් කිව යුතු නොවේ. 



මේ යාත්‍රාවේ ගමන පැය දෙකකට පමණ සිමාවේ. එම කාල සීමාව තුල, හෙමින් හෙමින් creek එක දිගේ ඉහලට හා පහලට ගමන් කිරීම සිදු කෙරේ. රාත්‍රී 8 පමණ ආරම්බ කරන මේ ගමන, රාත්‍රී දහයට පමණ අවසාන වීම සාමාන්‍ය සිරිතයි. එහි ගමන් කිරීම සඳහා ටිකට් පතක් මිලදී ගත යුතු අතර, එයට රාත්‍රී ආහාරය, අප්‍රමාන වතුර හා බිම වර්ග (මධ්‍යසාර නොවේ) අඩංගුය. රාත්‍රී ආහාරය බුෆේ ක්‍රමයට පිළිගැන්වේ. මිට අමතරව මේ රටේ සංස්කෘතියට අනුව කුඩා සංස්කෘතික අංග ගණනාවක්ද ඇතුලත්ය. Magic show, dancing events වැනි විවිධ ක්‍රියාකාරකම් කිහිපයක් ඊට ඇතුලත් වන අතර, මිලදී ගන්නා ටිකට්පතේ වටිනාකම අනුව සුඛෝපභෝගිබවේ තත්වය වෙනස් වනු ඇත. මෙවැනි යාත්‍රා බොහෝ ගනනක් Dubai Creek හි සේවය සපයන අතර, Dubai Marina ප්‍රදේශයේද මේ වනවිට මේ හා සමාන සේවාවක් ක්‍රියාත්මක වේ. සාමාන්‍ය මට්ටමේ සිට අධි සුඛෝපභෝගී යාත්‍රා දක්වා මේ සේවය පැතිර පවතී. සමහර යාත්‍රා 5* මට්ටමේ රසවත් ආහාර පාන වලින් මෙන්ම, සේවාවයෙන්ද යුක්තය.

රසවත් සංගීතයට සවන් දෙමින් (බොහෝ විට හින්දි, ඉංග්‍රීසි සහ අරාබි) පැය දෙකක් පුරා මුහුදු සුළඟ විඳිමින් ගමන් කිරීම ඉතාම චමත්කාර ජනකය. විශේෂයෙන් නොනිදන නගරයක් වන Dubai හි, පැරණි ජනාවාස ප්‍රදේශය වන Deira හා වර්තමාන වෙළඳ නගරය වන Bur Dubai යන දෙපසම මෙහි දෙපසින් රාත්‍රිකාලයේ පවා දැඩි ආලෝකයෙන් යුතුව දැකිය හැකි නිසා, දැඩි චිත්තාකර්ශනීය බවක් ඇති බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. ලොව සංචාරක පුරවරයක් වන Dubai වෙත ඔබ වරක් හෝ පිය නගන්නේ නම්, මෙහි රසවත් ආහාර රසවිඳිමින් යාත්‍රා කිරීමට අමතක කරන්න එපා යයි මෙයින් සිහිපත් කරමි.

(මෙවැනි එක අවස්තාවක ගනු ලැබූ කුඩා වීඩියෝවක් මේ සමග ඇත. ඔබට එය රසවිඳීමට පුළුවන)

No comments:

Post a Comment