Tuesday, September 26, 2017

<මකුණන් රඟදෙන, මුත්රා ගඳ දෙන ගැලරිය.>


අප කුඩා අවදියේදී නම්, "ගැලරිය" යනු බොහෝ දෙනෙකුගේ මුවඟ රැඳුනු වදනකි. සිනමා ශාලාවක ගැලරිය යනුවෙන් පැවසුවොත්, එය වඩා පැහැදිලි වනු ඇතැයි සිතමි. මුදල් ඇතත් නැතත් ගැලරියට ගොස් චිත්රපටයක් බැලීම එකල කොලු කුරුට්ටන්ට මනා සතුටක් ගෙන දෙන ක්රියාන්විතයකි. ප්රශ්නය වුයේ එය නොවේ. මේ ගැලරියේ ආසන ඉදිරියෙන්ම පිහිටි නිසා බොහෝ අපහසුතාවලට මුහුණ දීමට සිදු වීමයි. බොහෝ විට සෑම සිනමාහලකම පාහේ තිබෙන ආසනවල මකුණු රාජධානි පැවති අතර, උන් වෙනුවෙන් ලේ පර්ත්යාගයකින් තොරව පැය 2-3 චිත්රපටයක් බැලීමට නොහැකි විය. එසේම ගැලරියට රිංගන බොහෝ බිමත් පිරිස් හා අනෙකුත් කඩප්පුලියන් සිය සුළුදිය පහ කිරීමේ කටයුත්තද පුටුවේ දිග ඇදී කරගත් නිසා, නොමිලේම එහි සුගන්ධය විඳීමට සිනමාශාලාවල ගැලරියට මෙන්ම අනෙකුත් කොටස් වලට පිවිසෙන අප සැමට සිදුවිය. අප කැමති වුවද අකමැති වුවද බොහෝ සිනමා ශාලාවල එය එසේම සිදුවිය. කෙසේ වුවද වර්තමානය වන විට මේ තත්වය බොහෝ දුරට වෙනස්ව ඇති අතර, පෙරට සාපේක්ෂව සිනමා ශාලා යම්කිසි ප්රගතියක් ලබා ඇති බව දැක ගත හැක. එසේම වර්තමානයේ සමහර සිනමා ශාලා වායු සමනයෙන්ද, නවතම ශබ්ධ පරිපාලන උපකරණ වලින්ද, ත්රිමාන චිත්රපට පෙන්වීමේ හැකියාවෙන්ද සමන්විත බව කිව යුතුය.

මා ජිවත් වන ඩුබායිහි, මේ සිනමා අත්දැකීම් නවමු මුහුණුවරක් ගෙන ඇති බව පසුගිය දිනෙක දැන ගන්නට ලැබුණි. සිනමාශාලා ආශ්රිතව ඇතිකළ නවමු වෙනස්කම් හේතුවෙනි. විදේශගත අයට මෙවැනි දේ පුදුමයක් නොවන්නට ඉඩ ඇත. එහෙත් ලංකාවේ අයට නම්, එය වෙනස්ම අත්දැකීමක් වනු නොඅනුමානය. ඉන් පළමුවැන්න නම් අතිවිශාල තිරයක් සහිතව සිනමාශාලා සකස්කිරීමයි. මෙවැනි එක් සිනමාශාලාවක තිරයේ ප්රමාණය, උස මීටර් 13 (අඩි 42 පමණ ) හා පළල මීටර් 31 (අඩි 101 පමණ) වේ. මෙය මැදපෙරදිග හා උතුරු අප්රිකානු කලාපයේ විශාලතම පුළුල් තිරයක් බව පැවසේ.

එසේම තවත් සිනමාහලක් විසින් තිර තුනක් සහිත (Three Screen Cinema) සිනමා අත්දැකීම් විඳ ගැනීමේ පහසුකම් සලසා ඇත. ප්රධාන තිරයේ දෙපසින් එකිනෙකට ආනතව තැබූ තිරදෙකක් මත සිතුවම් මැවෙන නිසා මෙයද අමුතුම අත්දැකීමක් වනවාට කිසිදු සැකයක් නැත. මෙයද නවීනතම ලේසර් උපාංග මෙන්ම ඩිජිටල් ශබ්ධ පද්දතියකින් යුක්තව සකසා ඇති අතර, විශේෂයෙන් ත්රිමාන චිත්රපට පෙන්වීම සඳහා තෝතැන්නක් වනු ඇත.

මෙහි තුන්වන සිනමා ශාලා වර්ගය වනුයේ, නරඹන්නාට තරු හතේ අත්දැකීම් ලබා දෙන (Seven star experience) සිනමාශාලාය. ඉතාමත්ම සුඛෝපභෝගී හා නවීනතම පහසුකම් වලින් සමන්විත මෙම සිනමාශාලාවල, රථවාහන නතරකර තැබීමේ පහසුකම් (valet parking), සුඛෝපභෝගීව සුවපහසුවෙන් සිටිය හැකි තැන් (luxury lounges) මෙන්ම රසාලිප්ත ආහාර (gourmet food) වලින් සමන්විතය. මෙහි සෑම ආසනයකටම අයි පෑඩයක් සපයා ඇති අතර, ඔස්සේ ඔබ ඇනවුම් කරන උසස්ම ආහාර, බට්ලර් වරයෙකුගේ සේවය මගින් ඔබගේ අසුන වෙත පැමිණ පිළිගැන්වීමේ පහසුකම්ද සපයා ඇත.

අයිස්ක්රීම් එකක, කඩල ගොටුවක, යෝගට් එකක හෝ බිම බෝතලයක රස විඳිමින් චිත්රපටයක් නරඹන අතරේ, මෙවන් සිනමා ශාලාද ලොව පවතින බව සිහිකළ හැකිනම් කෙතරම් සතුටුද....?


(චායාරුප - Gulf News පුවත් පතේ අනුග්රහයෙනි)

No comments:

Post a Comment