Tuesday, September 26, 2017

අමුඩ ගොවීන්ට "ඇප්"......!


ගොවියා යන වචනය ඇසෙන විටම අපගේ සිහියට නැගෙනුයේ, බුලත් කහට බැඳුනු දත් දෙපෙලෙන් යුතු, අමුඩයෙන් සැරසුණු, උදැල්ල උරය මත රඳවාගත් කළුවන් සිරුරෙන් යුතු අහිංසක මිනිසෙකි. අප කුඩා කාලයේත්, වර්තමානය වන විටත් ගොවියා යන පදය ඇසෙන විට, මිට වෙනස් චිත්ත රුපයක් මැවෙන්නේ නම් එය පුදුමයට කාරණයක්ද වනු ඇත. මේ තත්වය වෙනස් කිරීමටද අප රට පාලනය කල දේශපාලකයින්ට නොහැකි වී ඇති අතර, එසේ වෙනස් කිරීමට උත්සාහ කල හා කරන පාලකයින්ටද නොයෙක් පරිභව වලට ලක්වීමටද සිදුවී ඇත. එසේම කිසිදා බලයට පැමිණීමට නොහැකි සමහර පක්ෂ වලටද අවැසි වී ඇත්තේ ගොවියා යනු අමුඩයටත්, බුලත් විටටත් සිමා කොට තබාගනිමටය. මන්ද ගොවියා ඉන් මිදුනු දිනයට ඔවුනට සටන් පාඨ නැතිවී යන හෙයිනි.

මා මේ ලිවීමට යන තොරතුර, මා වෙසෙන රටට අදාළ නොමැති වුවද මේ සටහන තැබීමට සිතුවේ වෙනස් වන ලෝකය සමග වෙනස් වීමට අකමැති අපේ රටේ ජනතා ආකල්ප නිසා, අප රට කොතරම් දුරට පසුගාමී ඇතිද යන වග පෙන්වීමටය. මිට දින කිහිපයකට ඉහත අන්තර්ජාලය හරහා ලංකාවේ ප්රවුත්ති නරඹන විටක දුටුවේ, පසුගිය කාර්තුවේ ලොව අඩුම අන්තර්ජාල හෙවත් internet අගයක් පැවතියේ ඉන්දියාවේ බවයි. අධික ජනගහනයත්, විශාල පිරිසක් අන්තර්ජාලයට පිවිසීම නිසාත් මේ තත්වය ඇතිවී ඇති බව එහි සඳහන් විය. කෙසේ වුවද මිට දින කිහිපයකට පෙර මෙහි පුවත්පතක සටහන් වූ තොරතුරක් දැක පුදුමයට පත්වීමි. එතරම් අන්තර්ජාලය නොදියුණු ඉන්දියාවේ කෘෂිකර්මයට අදාළ මොබයිල් ඇප් එකක් සකසා ඇති බවත්, එය ප්රයෝජනයට ගෙන කාලගුණය, කෘෂිකර්මයේ නව තොරතුරු, බෙහෙත් වර්ග, වෙළඳපොල තොරතුරු ලබා ගන්නා ලෙස ඉන්දීය අගමැති නරේන්ද් මෝඩි මැතිතුමා ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින බව එහි සඳහන් විය. අප රටේ ඇප් සකසනවා තබා, සිදුවන බොහෝ විෂමාචාර ක්රියා වලක්වා ගැනීම සඳහා සහ සහනාධාර ගොවීනට ලබා දීම සඳහා අන්තර්ජාලය හරහා ලියාපදිංචි වීමට දැන්වූ විට ඇතිවූ ප්රතිචාර පසුගිය කාලයේ අපට දැකිය හැකිවිය. එහෙත් අපටත් වඩා දුෂ්කර ඉන්දියාවේ, මිට වඩා බොහෝ දුර ගිය ගමනක් අරඹා ඇත.


ලොව බොහෝ රටවල ගොවියන් යනු මඩ තවරාගත්, උදලු කරේ රඳවාගත්, බුලත් විට සප්පායම් වන දිළිඳු නුගතුන් නොවන බව ලංකාවෙන් පිට, විවිධ රටවල වෙසෙන බොහෝ දෙනෙකු දන්නවා ඇත. එහෙත් ලංකාවේ ගොවියන් එවැනි දියුනුතැනකට එනවා දකින්නට ඔවුන් වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලන බොහෝ දෙනෙකු කැමති නැත. මා ඉහතින් දැක්වූ හේතුව නිසාවෙනි. කෙසේ වුවද රටක් හැටියට ඉදිරියට යාමට නම් අප කලයුත්තේ මේ වෙනස් වන ලෝකය හා තාක්ෂනය සමග අප රටට සුදුසු පරිදි අපද බද්ධ වීමය. එසේ නොවන තාක් බොහෝ අංශ වලින් පසුගාමී වීමට අපට සිදුවනු ඇත. රුපවාහිනිය හඳුන්වාදුන් අවදියේ "හූනියම් පෙට්ටිය" යනුවෙන් පැවසු මිනිසුන්ට එහි වටිනාකම වටහා ගැනීමට වසර ගණනාවක් ගතවිය. පරිඝනක හඳුන්වා දිමේදීද එය එසේම විය. අනුවම අන්තර්ජාලයද වර්ඝ කෙරිණි. කෙසේවුවද දේශපාලන කෝණයෙන් නොබලා හොඳ දෙයින් ප්රයෝජන ගැනීමට අප පුරුදු නොවන තාක් කල් මේ කටයුතු එලෙසම පවතිනු ඇත.

No comments:

Post a Comment